HIV/AIDS පතුරුවන බවට වන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් CID යට පැමිණිල්ලක්

සෞඛ්‍ය සේවාවට හානි වන අයුරින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවාලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනන්තුව වෙත පැමිණිල්ලක් කර තිබේ.

බරවා රෝග මර්දන වැඩසටහන විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මතයි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රාත්‍රී කාලයේ රුධිරය ලබා ගැනීමේ මුවාවෙන් නිවෙස්වලට පැමිණ HIV ඒඩ්ස් ආසාදනය පතුරුවන බවට සමාජ ජාල වෙබ් අඩවි මගින් කිසියම්  පිරිසක් සාවද්‍ය තොරතුරු පතුරුවමින් සිටින බවයි.

මෙලෙස සාවද්‍ය තොරතුරු පැතිරවීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය සයිබර් අපරාධ පිළිබඳ මධ්‍යස්ථානයට ද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ,  බරවා මර්දන වැඩසටහන යටතේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් රාත්‍රී කාලයේ නිවෙස්වලට පැමිණ රුධිර පටල ලබා ගෙන එම පටල රසායනාගාරයේදී පරීක්ෂා කර නිවසටම පැමිණ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවත් මෙම අසත්‍ය ප්‍රචාර එය කඩාකප්පල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටින්නේ, බරවා රෝගය යළි හිස එසවීම සහ සහමුලින් ම තුරන් කිරීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

මේ අතර බරවා රෝගය හඳුනා ගැනීමේ මෙම රුධිර පරීක්ෂාව රාත්‍රී කාලයේ සිදු කරනු ලබන්නේ, බරවා ක්ෂුද්‍ර පණුවා රාත්‍රී කාලයේදී  පර්යන්ත රුධිරයට පැමිණෙන බැවිනි.

කෙසේ වෙතත් නිවෙස්වලට පැමිණෙන සිය නිලධාරීන් නිල ඇඳුමින් සැරසී හැඳුනුම්පත පැළඳ සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය කරන්නේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් එම විමසීම් කළ හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.

ඒ අනුව සාවද්‍ය තොරතුරුවලට නොරැවටී නිල ඇඳුමෙන් සැරසී පැමිණෙන ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් නොමිලේ සැපයෙන සේවය උපරිමයෙන් ලබා ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටී…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here