2020 වන තෙක් ආණ්ඩුව කරන්න වෙන්නෙ මට – ජනපති

කවුරු ඇවිත් ගියත් තමාට වසර 2020 වන තෙක් ආණ්ඩුව කිරීමට සිදුවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 66 වැනි ශ්‍රීලනිප සංවත්සරය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද (30) පෙරවරුවේ ජනපති මැදුරේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තමාට ජනතා බලය ලබාදී ඇත්තේ වසර 2020 තෙක්ම ආණ්ඩුව කිරීමට බවත්, ඉන් තමාට මිදීමට නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

එජාපයෙත් ශ්‍රීලනිපයෙත් මන්ත්‍රීවරු ආණ්ඩු හදන බව පවසන බවත්, දෙගොල්ලන්ටම මේ පාර්ලිමෙන්තුවේ හැදිය හැක්කේ සම්මුතිවාදී හෝ හවුල් ආණ්ඩු පමණක් බවද ජනපතිවරයා අවධාරණය කළේය.

ඒ මේ පාර්ලිමේන්තුවේ එජාපයට ඇත්තේ මන්ත්‍රීවරු 106ක් බවත්, එසේම ශ්‍රීලනිපයට ඇත්තේ මන්ත්‍රීවරු 96ක් බවත් දෙපාර්ශවයම ආණ්ඩුවක් හැදීමට අවශ්‍ය මන්ත්‍රීවරු 113 නොමැති නිසා සෑදිය හැක්කේ සම්මුතිවාදී ආණ්ඩුවක් හෝ හවුල් ආණ්ඩුවක් පමණක් බවත් ඔහු කියා සිටියේය.

වසර 2020 තෙක්ම සම්මුතිවාදී ආණ්ඩුව ක්‍රියාත්මක වනු ඇති බව තමාට විශ්වාස බවද කී ජනපතිවරයා 2015 අගෝස්තු මාසයේදී මේ වසරේ දෙසැම්බර් දක්වා සම්මුතිවාදී ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට ගිවිසුම් ගසා ඇති බවත්, එය තවදුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව දෙසැම්බරයේදී තීරණය කරන බවද ජනපතිවරයා පැවසීය.

“විජේදාස අස්කළේ එජාපයේ ඉල්ලීමටයි”

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍යධූරයෙන් ඉවත්කරනු ලැබුවේ එජාපය විසින් කරන ලද ඉල්ලීමට අනුව යයි ද මෙහිදී ජනපතිවරයා හෙළි කළේය.

සම්මුතිවාදී ආණ්ඩු ගිවිසුම අනුව අමාත්‍යංශ, අමාත්‍ය ධූර හා ඒවායේ බලතල පක්ෂදෙක බෙදා වෙන්කරගෙන ඇති බවත්, ඒ අනුව විජේදාස මහතා සාමූහිකත්වය කඩකිරීම යන කාරණාව මත අදාළ ධූරයෙන් ඉවත් කරන ලෙස එජාපය පක්ෂය තුළ තීරණය කර දැන්වීමෙන් පසුව අදාළ ඉවත් කිරීම සිදු කළ බවද සිරිසේන මහතා පැවසීය.

රවීට ලොතරැයි දුන්නෙත් එජාපය

මේ අතර, පසුගිය කාලයේදී මාධ්‍ය බෙහෙවින් දෝශාරෝපනය කළ හිටපු විදෙස් අමාත්‍යවරයාගේ විශය පථයට ලොතරැයි දෙකක් ලබාදීමට ගැසට් කරනු ලැබුවේද එජාපයේ ඉල්ලීමකට අනුව බවද ඔහු කියා සිටියේය.

19 වැනි සංශෝධනයෙන් පසුවද තමාට ඇති බලතල අනුව අමාත්‍යංශවලට විශයන් පැවරීමට ඇති නීත්‍යානුකූල තත්ත්වය යටතේ එජාපයේ ඉල්ලීමට අනුව ලොතරැයි රවීට දුන් බවද හෙතෙම හෙළිකළේය.

විගණන පනත පමාවීම ගැන කනගාටුයි !

විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රමාදවීම ගැනද ජනපතිවරයා සිය කනගාටුව පළකර සිටියේය.

තමා පසුගිය වසරේ (2015) දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේදී තමා විගණන පනත ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන බව කියා සිටි බවත්, මේවන විට 2017 වසරේද මාස අටක්ම ගතව ඇතත් එය ඉදිරිපත් කිරීමට නොහැකිවීම බව කනගාටුවන බවද හෙතෙම පැවසීය.

විගණන කොමිෂන් සභාව පත්කර ඇතත් පනත සම්මත නොවීම නිසා කොමිෂන් සභාවට වැඩ කිරීම අපහසුවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here