හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අත්සන් තැබේ – ඩොලර් ලැබෙන හැටි වරාය ඇමති හෙළිකරයි

හම්බන්තොට – මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට මීට සිවල්ප මොහොතකට පෙර අත්සන් තැබුණි. ඒ, අදාළ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවය.

ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපාරයේ හිමිකරුවන් වෙයි.හම්බන්තොට වරාය, රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම මෙම ගිවිසුම මඟින් සිදු කෙරෙයි.ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම් එල්.පී ජයම්පති මහතා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

චීන රජය වෙනුවෙන් “චයිනා මර්චන්ට් සමූහයේ“ විධායක උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන්ය.ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය වරාය අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති අතර, ඒ සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂිං ලියැං මහතා ද එක්ව සිටියේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළේ අදාළ ගිවිසුම විනිවිද භාවයකින් යුතු එකඟතාවක් බවයි.මෙම සංශෝධිත ගිවිසුම නැවතත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ගිවිසුම යටතේ චයිනා මර්ජන්ට් සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 1.12 ආයෝජනයක් සිදු කරන බවයි.

මෙම මාගම්පුර වරාය ප්‍ර‍තිව්‍යූහගත කිරීමේ ඓතිහාසික ගිවිසුමට අත්සන් තැබූ එම සුවිශේෂ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍ර‍ම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් සහ චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති Yi. Xianliang, චයිනා මර්චන්ට් සමාගමේ විධායක උපසභාපති Dr. Hu Jianhua, චීන රජයේ කොන්සල් ජනරාල් Yang Zuo Yuan යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහභාගී විය.

හම්බන්තොට වරාය ගිවිසුම මෙන්න..! 

ශ්‍රී ලංකා රජය විසින් ලබාගන්නා ලද වානිජ ණය මුදල් යොදාගනිමින් රුපියල් බිලියන 193ක් ආයෝජනය කර හම්බන්තොට වරාය ඉදිකර තිබේ. කෙසේවුවද මේ සඳහා 2016 දෙසැම්බර් 08 වැනිදා රාමුගත ගිවිසුමක් අත්සන් කර තිබේ. මේ ගිවිසුම අත්සන් කර ඇත්තේ ලංකාවේ ලිංයාපදිංචි සමාගම් දෙකක් වීම විශේෂිතය. එම ගනුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.4කි.

ඒ අනුව Hambantota International Port Service Co ltd (HIPS) සමාගම  හම්බන්තොට වරායේ ආරක්ෂාව, නාවික සේවා, නියමුකරණ කටයුතු නැංගුරම් සම්බන්ධ කටයුතු, නාවික කටයුතුවලට ආධාර හා ප්‍රතිපදාන ලබාදීමේ කටයුතු, රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු, හදිස්සි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පරිසර දූෂණ පාලන කටයුතු වැනි සාමාන්‍ය පොදු පහසුකම් හා සේවා කළමනාකරණය කළ හැකි සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.

මේ සමාගමේ 50.7% ක කොටස් වරාය අධිකාරිය සතු වේ. ඉතිරි 49.3% ක ප්‍රමාණය සතුවන්නේ චයිනා මර්චන්ට් පොර්ට් සමාගමටය.

මේ ගිවිසුමේ බැඳෙන අනෙක් සමාගම වන්නේ Hambantota International Port Group (pat) ltd (HIPG) සමාගමයි. මෙහි කොටස් බෙදීයාම කොළඹ ව්‍යාපෘතිවලට අනන්‍ය වේ.  එම අනන්‍යතාව අනුව 15% වරාය අධිකාරියටත් 85%ක් චයිනා මර්චන්ට් පොර්ට් සමාගමටත් වශයෙන් එහි කොටස් බෙදී ගොස් තිබේ.

මේ අතර, අදාළ කොටස්වලින්  20%ක් වසර 10ක් තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියටත් විකිණීමට එකඟව ඇත.

මෙහි ගිවිසුම් කාලය වසර 99කි. එසේම ගිවිසුම ආරම්භක දිනයේ සිට වසර 70ක් ගතවූ පසුව සියලුම කොටස් ප්‍රමාණය මිලදී ගැනිමට හෝ වසර 80ක් ගතවීමෙන් පසුව HIPS සමාගමේ කොටස්වලින් 76.8% ක් HIPG සමාගමේ කොටස්වලින් 60%ක් ඩොලර් 1කෙ මිලදී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිතිය තිබේ.

මේ ගිවිසුමට අනුව හම්බන්තොට වරායට අයත් හෙක්ටයාර 1574 ක සීමාවෙන් 1151 ක් බදුදීමට නියමිතය. කෙසේවුවද, පූර්ණ ලෙස මෙහෙයුම් සිදුකිරීමට බහාලු පර්යන්තයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 600ක් අවශ්‍ය බව පැවසේ. කෙසේවුවද, රජය මේවන විට මුහුණදී සිටින ආර්ථික අහේනි නිසා එවැනි මුදලක් වියදම් කිරීමට හැකියාවක් නොවන බව පොදු පිළිගැනීම වී තිබේ.

මේවන විට වරාය අධිකාරිය වසරකට රුපියල් බිලියන 9.1ක මුදලක් ණය ලෙස ගෙවන බව පැවසේ. හම්බන්තොට වරාය එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ 2011 වසරේදී වන අතර 2016 වසර වන විට එහි සමුචිත අලාභය රුපියල් බිලියන 46.7ක් බවද වාර්තා වේ.

කොළඹ වරායේ සිට හම්බන්තොට වරායට මාරුකරන ලද වාහන ගොඩබෑමේ කටයුතු ඉවත් කළ විට 2015 දී හසුරුවන ලද නැව් ප්‍රමාණය 19ක් වන අතර 2016 දී හසුරුවන ලද නැව් ප්‍රමාණය 14ක් බවත් එය 2017 ජනවාරි සිට ජුනි දක්වා හසුරුවන ලද නැව් ප්‍රමාණය 10ක් බවද හම්බන්තොට අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here