සංගා දෙවැනි ශතකයත් ලබාගනී

එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මෙවර ප්‍රාන්ත තරගාවලියේ දෙවැනි ශතකය අද (23 වැනිදා) ලබාගත්තේය. වොවික්ෂයර් ප්‍රාන්ත පිලට එරෙහිව එජ්බැස්ටන්හිදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට නොදැවී ලකුණු 98 ක් ලබා සිටි සංගක්කාර අද පෙරවරුවේදී අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් සිය ශතකය සම්පූර්ණ කළේය.

ඉතාමත් සැහැල්ලු ආකාරයෙන් ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව ලකුණක් කරා යාමට වත් උත්සාහ නොකළ සංගක්කාර සිය හිස්වැස්ම ඔසවා නරඹන්නන්ට ආචාර කිරීමට පසුබට නොවීය. කෙසේ වෙතත් ශතකය ලබාගැනීමෙන් මඳ වේලාවකට පසුව සංගක්කාර ලකුණු 105 කට දැවී ගියේය.

වොවික්ෂයර් පිල ලබාගත් ලකුණු 332 ට පිළිතුරු සොයා යද්දී සරේ පිලේ කඩුලු 2 ක් ලකුණු 127 කට බිඳවැටී තිබියදී සංගක්කාර පිටියට පිවිසියේය.

මාක් ස්ටෝන්මන් සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 140 ක් එක්කළ සංගක්කාර ඉන් අනතුරුව ඩොමිනික් සිබ්ලි සමග එක්ව ලකුණු 306 දක්වා සරේ කණ්ඩායම කැඳවාගෙන ගියේය.

විනාඩි 206 ක් පිටියේ රැඳුනු සංගක්කාර පන්දු 165 කට මුහුණ දෙමින් හතරේ පහර 10 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම අලංකාර කළේය.

මෙවර අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ආරම්භයේ සිටිම ලකුණු අතර සිටින සංගක්කාර මේ දක්වා පැවැති තරග තුනේදී ලකුණු ලබා ඇත්තේ 71, 46, 136 සහ 105 ක් වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here