ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ නව ගිවිසුම් 12 කට ද අත්සන් තැබේ.

අතීතයේ සිට අවංක මිතුරන් වූ ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබදතා ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට දෙරටේ රාජ්‍ය නායකයින් සපථ වෙයි.බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) පෙරවරුවේ සිදු වූ අතර එහිදී රාජ්‍ය නායකයින් මේ බව අවධාරණය කළහ.

බංග්ලාදේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය.
රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ජා ආරම්භ කෙරිණි.බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකාව අතර වෙළෙද ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබදව සහ විශේෂ ආර්ථික කලාපයක් ඇති කර ගැනීම පිළිබදව මෙහිදී නායක දෙපළගේ විශේෂ අවධානය යොමු විය.

කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත‍්‍රයේ අත්දැකීම් දෙරට අතර හුවමාරු කර ගැනීමේ නව වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම මෙන්ම තොරතුරු තාක්ෂණයේදී සහ ත‍්‍රස්තවාදය මැඩලීමේදී එක්ව කටයුතු කිරීමට ද සාකච්ජා කළහ.එමෙන්ම ශී‍්‍ර ලංකාවේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා බංග්ලාදේශයේ තාක්ෂණික දැනුම ලබාගැනීම පිළිබදව ද අවධානය යොමු විය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය රටේ සංචාරයක නිරතවීම පිළිබදව සතුට පළ කළ බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යවරිය අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලාංකාව තුළ තහවුරු වී තිබෙන නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇගයීමට ලක්කළාය.

දෙරට අතර සබදතා ශක්තිමත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව වැඩිදුරටත් අවධාරණය කළ අග‍්‍රාමාත්‍යවරිය වෙළද, ආර්ථික මෙන්ම කලාපීය වශයෙන් ද ශී‍්‍ර ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට බංග්ලාදේශය සූදානම් බව ද අවධාරණය කළාය.ශී‍්‍ර ලංකාවත් බංග්ලාදේශයත් මුහුණ දී තිබෙන්නේ එකම ආකාරයේ ගැටලූවලට වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී සංක‍්‍රමිකයින්ගේ ගැටලූව ආදි ගැටලූවලට විසදුම් සෙවීමේදී එක්ව කටයුතු කිරිමේ හැකියාව ද අග‍්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

බංග්ලාදේශ ආයෝජකයින්ට ශී‍්‍ර ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබදව අදහස් දැක්වූ ජනාධිපතිතුමා එම ආයෝජකයින් වැඩි වශයෙන් ශී‍්‍ර ලංකාවට යොමු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලූ පහසුකම් සපයාදීමට රජය සූදානම් බවත් සදහන් කළේය.

නුදුරු දිනකදීම ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ජනාධිපතිතුමා බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යවරිය වෙත ඇරයුම් කළ අතර එම ඇරයුම ඉතා සුහදශීලි ලෙස පිළිගත් අග‍්‍රාමාත්‍යවරිය දෙරට අතර ඇතිකරගත් නව සබදතා සාර්ථකව ඉදිරියට ගෙන යාම පිළිබද එම හමුව ඉතා වැදගත්වනු ඇති බවට ද විශ්වාසය පළ කළාය.
ඉන් අනතුරුව ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබීම රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ සිදු විය.

එහි පළමු ගිවිසුම දෙරටේ ප‍්‍රමිති ආයතන දෙක අතර ප‍්‍රමිතිකරණය සම්බන්ධයෙන් අත්සන් තැබූ අතර විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට කර්මාන්ත අමාත්‍යවරයා ඊට අත්සන් තැබීය.

දෙරට අතර ආර්ථික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද ගිවිසුමට අත්සන් තබන ලද්දේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට වාණිජ අමාත්‍යවරයා විසිනි.

කෘෂිකාර්මික සහයෝගීතාවය පිළිබද ගිවිසුමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා සහ එරට කෘෂිකර්ම අමාත්‍යවරයා අත්සන් තැබීය.

තොරතුරු තාක්ෂණය පිළිබද ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා විසිනි.

ගුවන්විදුලි සහ රූපවාහිනි සංවර්ධනය පිළිබද ගිවිසුමට ද නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණය පිළිබද අමාත්‍යවරයා අත්සන් තැබීය.

නෞකා ක්ෂේත‍්‍රයේ සහයෝගීතාවය පිළිබද ගිවිසුමට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ එරට නාවුක කටයුතු පිළිබද අමාත්‍යවරයා අත්සන් තැබීය.

විදේශ සේවා නිලධාරින් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම පිළිබද ගිවිසුම් දෙකකට ද අත්සන් තැබුණු අතර දෙරටේ විදේශ අමාත්‍යවරු ඊට අත්සන් තැබුහ.

දෙරට අතර රාජතාන්ති‍්‍රක සහ රාජකාරී ගමන් බලපත‍්‍ර වීසාවලින් නිදහස් කිරීම පිළිබද ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අත්සන් තැබූහ.

දෙරට අතර ඇගළුම් ක්ෂේත‍්‍රයේ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර තොරතුරු තාක්ෂණය හා සංනිවේදනය පිළිබද ගිවිසුමකට ද අත්සන් තැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here