ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 66යි – ඔබ කියවිය යුතුම ශ්‍රීලනිප ඉතිහාසය කෙටියෙන්

රෙද්ද බැනියම අඳින බතබුලතින් ස්වයං පෝෂිත ගැමියාගේ පක්ෂය ලෙස හදවත් අතර සැමදා නොනැසී පවතින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 66 ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නකි.

1940 දශකයේ මැද භාගයේ හා අවසන් භාගයේ මෙරට පැවැති ආර්ථික, සමාජයීය, සංස්කෘතික, දේශපාලනික කරුණු ගැන විමසිලිමත් වූ විද්වතෙක් විසුවේය. හෙතෙම බෞද්ධ සාරධර්මවලින් පොහොසත් විවිධ භාෂා ඥානයෙන් හා නීතිය පිළිබඳ හසළ දැනුමකින් හෙබි රාජ නීතිඥ එච්.ශ්‍රී . නිශ්ශංක මහතාය. එස්.ඩබ්ලිව්. බණ්ඩාරනායකයන් සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීතිය හැදෑරූ කලණ මිත්‍රයා ද විය.

සරසවි දිවියේදී මේ රටේ පවතින බෞද්ධ හැදියාව පිළිබඳවත් සංස්කෘතිය පිළිබඳවත් මනා දැනීමකින් පසු නිශ්ශංක මහතා බණ්ඩාරනායකයන්ට වරින් වර කරුණු පැහැදිලි කරන්නට විය. දෙදෙනා සංවාද කරමින් තම අදහස් හුවමාරු කර ගත්හ. වයසට වඩා පැසුණු බුද්ධියකින් පසුවූ ශ්‍රී නිශ්ශංකයන් බණ්ඩාරනායක තුළ තිබූ අධිරාජ්‍යවාදී බටහිර ගැති පිළිවෙත ක්‍රමයෙන් ඉවත් කර දේශීය සංස්කෘතියට ඔබින ආකාරයට මනස ක්‍රමයෙන් වෙනස් කරලීමට සමත් විය.

අධ්‍යපනය නිමවා ලංකාවට පැමිණි පසු බණ්ඩාරනායක මහතා හා ශ්‍රී . නිශ්ශංක නීති කේෂ්ත්‍රයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ නියැළෙන්නට වූහ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තේමා කර ගනිමින් ශ්‍රී .ල.නි.ප ගොඩනැඟීමේ සාකච්ඡාවක් කිරුළපන “යමුනා” මන්දිරයේදී ශ්‍රී නිශ්ශංක හා බණ්ඩාරනායක මහතා ඇරඹූහ. එහි ප්‍රතිඵලය වූයේ තවත් ප්‍රගතිශීලීන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ෂ 1951දී බිහිවීමය.

පක්ෂයට නම වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වර්ණය ලෙස නිල්පාට ද, ලාංජනය ලෙස අත ලකුණද පක්ෂ ව්‍යවස්ථාවද නිර්මාණය කර යෝජනා කළේ නිශ්ශංක මහතාය. පක්ෂය මෙහෙය වීමේ භාරදූර කාර්යයද බණ්ඩාරනායක මහතාට පැවැරූ බෝධිසත්ව ගුණ ඇති ශ්‍රී නිශ්ශංක මහතා නයාචාර්යවරයකු ලෙස බණ්ඩාරනායක මහතාට ගමන යන්න මඟ හෙළි කළේය.

පක්ෂය පිහිටුවීමේදී භාවිත කළ පුටු, මේස හා පෑන යමුනා නිවසේ (වර්තමානයේ යමුනා සදහම් ආශ්‍රමයේදී දැකගත හැකිය) සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය පෙරටු කොටගෙන ගම් නියම්ගම්වල ජනී ජනයාගේ ආශිර්වාදයෙන් ශ්‍රී .ල.නි.පය දිනෙන් දින ජනතා ආකර්ෂණය මැද ව්‍යාප්ත වන්ට විය. වාමාංශික පක්ෂ ද හවුල් කර ගනිමින් ශ්‍රී ලංකා දේශපාලන වංස කතාවේ අලුත් පිටුවක් පෙරළමින් 1956 නව රජයක් පිහිටුවීමට බණ්ඩාරනායක මහතා සමත් විය. බටහිරට ගැතිව තිබූ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් චීනය, රුසියාව, ප්‍රමුඛ සමාජවාදී කඳවුරු කෙරෙහි නැඹුරු වූ අගමැති බණ්ඩාරනායක මහතා විප්ලවීය වෙනසකට රට නැඹුරු කරවීය. ජනසතු ව්‍යාපාර අරඹමින් ගැමි ජනයාගේ ආකර්ෂණීය සහයෝගය නොඅඩුව ලබමින් මෙසේ ශ්‍රී ලංකාව අලුත් ජවයකින් සංවර්ධනය කරා පියවර ඔසවද්දී 1959 වසරේ දී සාහසික වෙඩි පහරින් අගමැති බණ්ඩාරනායක මැතිතුමන් මරණයට පත්වීම ඉතිහාසයේ ඛේදනීය සිදුවීමකි.

විජයානන්ද දහනායක මහතාට අගමැති පදවිය හිමි වුවද ඔහුට පක්ෂයේ ජවය ඒ අයුරින් තබා ගැනීමට නොහැකි විය. සී.පී.ද සිල්වා මහතාටත් එසේම විය. මේ නිසා සියලු පාර්ශ්වවල ගෞරවනීය ආරාධනයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පක්ෂයේ නායිකාව ලෙස තෝරාගෙන බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් පියවරෙන් පියවර බාධක ජයගෙන ඉදිරියට ගෙන ගියේය. ලොව ප්‍රථම අගමැතිවරිය වශයෙන්ද බණ්ඩාරනායක මැතිනිය සුවිශාල මෙහෙවරක නිරත වූවාය. ඇය විදේශ ප්‍රතිපත්තිය ඉතා විශිෂ්ට අයුරින් මෙහෙය වූවාය. තර්ජන, ගර්ජන අපහාස විඳිමින් තම දරුවන්ටත් නොදෙවෙනි ආකාරයෙන් පක්ෂය ආරක්ෂා කළාය.

වර්ෂ 1971 දී තරුණ කැරැල්ල මර්දනය කිරීමට ඇය භාවිත කළ උපක්‍රම පක්ෂ විපක්ෂ සැමගේ ගෞරව බහුමානයට ලක්විය. විවිධ කාලවකවානු තුළ පක්ෂයේ විවිධ අර්බුද මතුවුණු අවස්ථාවල දුෂ්කර වූ මාවතක ගමන් කරමින් ශ්‍රී .ල.නි.පය සැමදා ග්‍රාමීය ජනයාගේ හදවතට සමීපව අපේකම ආරක්ෂා කරමින් වර්තමානයේත් කටයුතු කරන්නේය.

මේ ගෙවී යන්නේ ශ්‍රී .ල.නි.පයේ ප්‍රජාතන්ත්‍රවාදී බව ඉතිරී පැතිරී අසීමිත නිදහස ඇති කාලයකි. වත්මන් ශ්‍රී .ල.නි.ප නායක ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතා ඉවසීමෙන් පක්ෂයේ ජවය ඒ අයුරින්ම ආරක්ෂා කර ගැනීමට වෙහෙසමින් කටයුතු කිරීම ඉතාම ප්‍රශංසනීයයි. තරුණ තරුණියන් කෙරෙහි පක්ෂයේ වගකීම් පවරමින් ඔවුන්ට දේශපාලනය පිළිබඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට ශාස්ත්‍රාලයක් අරඹමින් සුවිශේෂි කාර්යභාරයකට අතගසා තිබේ.

තිස්වසරක යුද්ධය නිමකළ හිටපු ජනාධිපති හා පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ජාතීන් අතර සමඟිය වර්ධනය කරමින් පක්ෂයට සුළු ජන ඡන්ද පදනම දිනාගන්නට මූලික අඩිතාලම දැමූ හිටපු ජනාධිපතිනි හා පක්ෂ නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නාමයත් මේ මොහොතේ සිහිපත් කිරීම හා කෘතගුණවේදීත්වය අගයන පාක්ෂිකයන්ගේ යුතුකම වන්නේය.

සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු ශ්‍රී .ල.නි.පයේ පංච මහා බලවේගයේ ගොවි පරපුරේ නියෝජනයෙන් පක්ෂ නායකත්වයටත් රටේ නායකත්වයටත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පත්වීම වසර 66 පක්ෂ සංවත්සරය සැප්තැම්බර් තුන්වැනි (03) දින සමරන මොහොතේ සදානුස්මරණීය වන්නේය.

66 වසර පසු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට “චිරං ජයතු”
ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය සංසදය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here