වෙඩි වගේ බයික් පැද්ද ඇතුගල්පුර සිංහයා වෙඩිසිංහට ඇත්තටම මොකද වුණේ?

ප්‍රමිතියකින් තොරව කටයුතු කිරීමේ කලාව මෙරට ක්‍රීඩාවටත් බෝවී බොහෝ කලක් ගතවී ඇති බව අමුතුවෙන් කිවයුතු කරුණක් නොවෙයි. ගංවතුර ආපදාවක් මතුවූ විට පමණක් ගංවතුර වැළැක්වීමේ සැලැසුම් ගැන කතා කරල පැලැස්තර දාන මේ වකවානුවේ නිසි ප්‍රමිතියකින් සංවිධානය නොකළ ක්‍රීඩාවක යෙදීම හේතුවෙන් ආනන්ද වෙඩිසිංහ නම් යතුරුපැදි ධාවන ශූරයාට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීමෙන් පසුව මේ දිනවල යතුරුපැදි ධාවනයත් මාතෘකාවක් වී ඇති බව පේනවා.

දශක තුනකට ආසන්න කාලයක් මෙරට යතුරුපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ තරුවක් සේ බැබළුණු ආනන්ද වෙඩිසිංහ 47 වැනි වියෙහි පසුවෙද්දී පසුගියදා අප අතරින් සදහටම සමුගෙන ගියේ මේ වසරේ අප්‍රේල් මස නුවරඑළියේදී පැවැති යතුරුපැදි ධාවන තරගයකට සහභාගි වී සිටියදී හදිසි අනතුරකට භාජන වූ නිසයි. ප්‍රතිවාදියකු හා කරට කර තරගයේ යෙදුණු අවස්ථාවක වෙඩිසිංහගේ යතුරුපැදිය පාරෙන් ඉවතට පැනීමෙන් ඔහු විසිවී අසල ඇති ගසක කොටයක හිස වැදීමෙන් තුවාල ලැබූ අතර අනතුරුව මහනුවර රෝහලට ඇතුළත් කරන විටත් ඔහු සිහිසුන්ව සිටියේය.

අනතුර සිදුවී මිනිත්තු 20 කට අධික කාලයක් වෙඩිසිංහ එම ස්ථානයෙන් රෝහල වෙත ගෙනයෑමට වැඩපිළිවෙළක් නොතිබීම ඔහුගේ තත්ත්වය තවත් බරපතළ වන්නටද ප්‍රධාන හේතුවක් බව දැන් පැවැසෙනවා. යතුරුපැදි ධාවන තරගයක තිබිය යුතු අවම ආරක්ෂිත තත්ත්වයක් වන ධාවන පථයේ වැලි කොට්ට සකසා නොතිබූ බවද රහසක් නොවන අතර නිසි තරග තීරකවරඩතඳ සහ අවශ්‍ය හදිසි අවස්ථාවකදී අදාළ අංශ දැනුවත් කිරීමට වෝකි-ටෝකි යන්ත්‍ර වැනි පහසුකම්ද එම නුවරඑළිය ධාවන තරගයේදී සලසා නොතිබූ බවද කාහටත් නොරහසක්. එහෙත් යතුරුපැදි ධාවන තරගයක පැවැතිය යුතු නීති රීති ගැන දැන් කතා වෙන්නේ වෙන්නට තිබූ අවාසනාවන්ත දෑ සියල්ල සිදුවූවාට පසුවය.

කෙසේ වෙතත් නුවරඑළියේ ස්ථාපිත ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සමාජය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම යතුරුපැදි ධාවන තරග ඉතිහාසය දෙස බැලූ විට මරණයක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙරත් තරගයේ යෙදී සිටියදී රංජිත් ධනපාල හා ඩිල්ෂාන් බණ්ඩාරනායක යන දෙදෙනාගේ ජීවිත හානියට පත්වූ අතර එසේ සහභාගි වූ සිරිමල් වන්නිආරච්චි නම් යතුරුපැදි ධාවකයාද මෙම ධාවන පථයේදී අනතුරට ලක්වී අද ආබාධිතයකු බවට පත්ව ඇත. තවද පසුගිය අනතුරේදී ආනන්ද වෙඩිසිංහ හා ගැටුණු සුරාජ් පෙරේරාගේද අතක් කැඩී ඇතැයි පැවැසේ. කෙසේ වෙතත් මෙම නුවරඑළිය ධාවන පථයේ ඇති අවදානම තේරුම් ගෙන එහි යතුරුපැදි ධාවන තරගවලට සහභාගි නොවන ක්‍රීඩකයන්ද නැත්තේ නොවේ.

ඒ අතරින් මෙම ලියුම්කරුට හමුවූ තවත් ප්‍රවීණ යතුරුපැදි ශූරයකු වන ගයාන් සඳරුවන් පවසා සිටියේ තමන් කිසිදාක මෙම නුවරඑළිය ධාවන තරගයට සහභාගි නොවන බවත්, මෙම අනතුර වූ ධාවන පථය පොදු ප්‍රවාහනය සඳහා යොදාගන්නා මහාමාර්ගය වසා සකස් කරන ලද එකක් බැවින් දැඩි අනාරක්ෂිත බවකින් යුත් එකක් බවත්ය. එවැනි මාර්ගයක තරග පැවැත්වෙන්නේ නම් නිසි ලෙස වැලිකොට්ට අතුරා, අනාරක්ෂිත ස්ථාන සඳහා ටයර් යොදාගෙන සකස් කරගත යුතු යැයි පැවැසූ ගයාන් සඳරුවන් එදා තරගයේදී එවැනි ආරක්ෂිත පියවර හරියට ගෙන තිබුණේ නැහැ කියල දැකපු කාට වුණත් පැහැදිලියි. ඒ දේවල් අඩුවෙන් කරල තිබුණා යනුවෙන් පැවැසීය.

එසේ නම් මෙවැනි ධාවන පථයන්හි තරග පැවැත්වීමට ඉඩ ලබා දෙන්නේ ඇයිදැයි? යන පැනයට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ සඳරුවන් “යතුරුපැදි ධාවක සංගමය සහ මෝටර් රථ ධාවක සංගමය කියල ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා මවු සංගම් දෙකක් තිබෙනවා. එයාලා තමයි ඒවා ආරක්ෂිතද නැද්ද කියලා තීරණය කරන්න ඕන. මේක සංවිධානය කරපු ක්ලබ් එක ගැන කීවොත් මම දැකපු විදියට වෙඩිසිංහ අනතුරට පත්වූ එම තරගයේදී ගිලන් රථ තිබිල නැහැ. හරියට සම්බන්ධීකරණ කටයුතු කරගන්න වෝකි-ටෝකි තිබිල නැහැ. මාර්ගයේ කොනින් කොනට කෝනර් මාෂල්ස්ල ඉන්න ඕන. ඔවුන් අතර පණිවුඩ හුවමාරු හරියට තිබිල නැහැ. එහෙම වුණාම තරගයක් හරියට සංවිධානය වෙන්නෙ නැහැ. මෙතැන විතරක් නෙමේ වෙනත් තැන්වලත් මේ විදියට තරග තියනවා. මේ පිළිබඳව මම ක්‍රීඩා ඇමැතිතුමාටත් දැනුම් දුන්නා. ඉන් පසුව ක්‍රීඩා ඇමැතිතුමා කියල තිබුණා මේ තරග හරියට කරන්නේ නැති සංගම් තහනම් කරන්න කියල. එහෙම නියෝග දුන්නත් එතැනින් පහළට කටයුතු කරන අමාත්‍යාංශ නිලධාරීන් ඒවා කරන්නෙ නැහැ.” යනුවෙන් කීය.

නමුත් ආනන්ද වෙඩිසිංහ කියන්නෙ දෙස් විදෙස් තරග රාශියකට සහභාගි වෙලා ඉන් ජයග්‍රහණ ලබාගත්ත ප්‍රවීණ ක්‍රීඩකයෙක්. ඇයි ඔහු මෙවැනි තරගයකට සහභාගි වුණේ යන ප්‍රශ්නය ගයාන් සඳරුවන් ඉදිරියේ තැබුවෙමි.

“ඇත්තටම මේ ධාවන පථයෙ තරග කරල මීට අවුරුදු 4 කට විතර කලින් රංජිත් ධනපාලගෙ ජීවිතය නැතිවුණා. ඩිල්ෂාන් බණ්ඩාරනායකත් මීට අවුරුදු 5 කට විතර කලින් ජීවිතක්ෂයට පත්වුණේ මේ නුවරඑළිය රේස් පැද්ද මොහොතකයි. ඒ වගේම මීට අවුරුදු 7-8 කට කලින් මේ රේස් එකටම ගිහිල්ල සිරිමල් වන්නිආරච්චි අනතුරකට ලක්වුණා. ඔහු ජීවතුන් අතර සිටියත් කිසි වැඩක් කරගන්න බැරි තත්ත්වයකට ආබාධිත වෙලා ඉන්නෙ. මෙවර සුරාජ් පෙරේරාත් අතතුරට ලක්වෙලා. අතක් ආබාධයකට ලක්වුණා. ඔහුටත් තවත් රේස් පදින්න බැරිවේවි. ආනන්ද ගොඩක් ඕෆ් රෝඩ් රේස් පැද්දෙ. මේ වගේ රේස්වලට ගියා අඩුයි. හිතාගන්න බැහැ. එයාත් ප්‍රවීණ ක්‍රීඩකයෙක්. මේ වගේ ඒවාට නොගිහිල්ල ඉන්න තිබුණා. අපි කවුරුවත් ඔය රේස් එකට යන්නෙ නැහැ” ලෙසින් අදහස් දැක්වීය.

තමන් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා යතුරුපැදි ධාවක කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසද කටයුතු කරන බවද කී ගයාන් කියා සිටියේ මෙවැනි සුදුසු නැති තරග සඳහා තමන්ගේ කණ්ඩායම සහභාගි නොකරන බවයි. කොහොමත් මෙය අනතුරුදායක ක්‍රීඩාවක් බවද කියා සිටි ගයාන් “අපි සුදුසු නැති තරගවලදී තවත් අවදානමක් ගන්න ඕන. ලංකාවේ තවත් සංගම් තිබෙනවා. තරග හොඳට සංවිධානය කරන සංගම් 4 ක් 5 ක් තිබෙනවා. මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේක සංවිධානය කරන්නෙ ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්ලබ්නේ. ඒ ක්ලබ් එකේ මෝටර් සයිකල් පදින කවුරුවත් නැහැ. ඔක්කොම ඉන්නෙ බහුබූත පරිපාලකයෝ. ඒ ගොල්ලන්ට ඒ නම අයින් කරගන්න කියලයි මම කියන්නෙ. නුවරඑළිය මෝටර් සයිකල් ක්ලබ් කියල වෙනම එකක් තිබෙනවා. එයාල නොවෙයි මේක සංවිධානය කළේ. ඒ ගොල්ලත් මේ තරගයට කැමැති නැහැ. අපේ මවු සංගමය වන යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයෙන් අවසර අරගෙන තමයි මේ තරගය පවත්වලා තියෙන්නෙ. ඒ නිසා සම්මේලනයත් මෙකට වගකියන්න ඕන.”

කෙසේ වෙතත් අප අතරින් වෙන්වූ ආනන්ද වෙඩිසිංහ ගැනත් විමසූ විට ගයාන් කියා සිටියේ ආනන්ද යනු යතුරුපැදි ධාවන පථයේ සිටිය යුතුම පුද්ගලයෙක් බවයි. තවදුරටත් ආනන්ද සමඟ තරග වැදුණු අවධියද ගැන සිහිපත් කරමින් කතා කළ ගයාන් “ඇත්තටම ධාවන පථයේ ඉන්න කොට වුණත් පාළුවක් නැහැ. විහිළු තහළු කරගෙන හිටියා. හැමෝත් එක්කම එකමුතුවෙන් හිටි ක්‍රීඩකයෙක්. අපිට කලින් මෝටර් සයිකල් ධාවන ශූරයෙක්. එයා දිහා බලල අපි ක්‍රීඩා කරල තියෙනවා. මම අවුරුදු 4-5 කාලෙ තාත්තාගේ අතේ එල්ලිලා ඔහු ක්‍රීඩා කරන ආකාරය නරඹල තියෙනව. කතාබහ කරල තියෙනවා. ඒ කාලෙ ඉඳන්ම දන්නවා. මේක අපේ රේසිං ප්‍රජාවටම ලොකු පාඩුවක් කියල මම හිතනවා. මම රේස් ගොඩක් ආනන්ද එක්ක තරග කරල තියනවා. මට කලින් හිටපු ශූරයා එයා.

ඊට පසුව 2003 වර්ෂයේ එයත් එක්ක තරග කරලා මම පළමුවැනි ශූරතාව දිනාගත්තෙ. අපි එකට තරග කරල දින්නත් එයා ජේ‍යෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට කරට අත දාගෙන අපිත් එක්ක කතා කරලා විනෝදයෙන් ගත කළා.”

ආනන්දගේ පවුලේ තොරතුරු ගැන තරමක් දැනගත්තත් ගයාන්ගෙන් ඒ ගැන විමසුවා. “ආනන්ද ජපන් කාන්තාවක් සමඟ විවාහ වෙලා හිටියා. එයාගේ පුතාත් මා සමඟ ක්‍රීඩා කළා. පුතාගෙ නම කෙන් වෙඩිසිංහ. ඔහු ටික කාලයක් මෙහේ රේස් පැදලා දැන් ජපානයේ රේස් පදිනවා. එයාට පුතාල දෙන්නෙක් දූලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ඔක්කොම ජපානයේ පදිංචි.” ආනන්ද අනතුරට ලක්වුණාට පසුව ඔහුව සුව කරන්න ජපානයට රැගෙන යෑමේ සැලසුමක් තිබූ බවත් ගයාන් මෙසේ හෙළි කළා.
ඔහු සුවකරන්න මෙහේ අමාරුයි කිව්ව නිසා පවුලේ අය ඔහු ජපානයට ගෙනියන්න සැලසුම් කළා. ඒත් ඒ සඳහා රුපියල් මිලියන 39 ක් යන බවත් කිව්වා. ඒ සඳහා අපි රයිඩර්ස්ලා, එකතු වෙලා සල්ලි හොයන්න තරග කිහිපයක් සංවිධානය කරල තිබුණා. ඒ අතරෙයි ඔහු නැති වුණේ. අන්තිමට මට කියන්න තියෙන්නෙ. මේ වගේ අනාරක්ෂිත තරග සංවිධානය කරනවා කියල ක්‍රීඩා අමාත්‍යාංශයට මම දැනුම් දුන්නා. ක්‍රීඩා ඇමැතිතුමාට තියෙනවා මේ ක්‍රීඩාව හදන්න ඕන කියල වුවමනාවක්. නමුත් එතැනින් පහළ ඉන්න සමහර නිලධාරීන් කිහිප දෙනෙක් ඒවා කරන්න පෙලඹුණේ නැහැ. අපි මේවා පැමිණිලි කළේ ක්‍රීඩාව හරි මඟට ගන්න ඕන නිසයි. ඒත් දවසක් මට දැන් ඉන්න ඩිරෙක්ටර් ජනරාල් පැමිණිලි කරාම ඔහු කිව්වා. “ඔයා තවම ක්‍රීඩකයෙක්නේ මේවාට සම්බන්ධ වෙන්න එපා” කියලා. එතැනින් පසුව මම මගේ ක්‍රීඩාව කරගෙන ඉන්නවා. දැන් කාගෙත් ඇස් ඇරිලා තියෙන්නෙ. ඒ නිසා මම කියන්නේ අපි කියපු දේවල් අහල පරිපාලකයෝ හරිදේ කළා නම් හරි. අනෙක මම කියන්නෙ ගොඩක් ක්‍රීඩා සංගම්වලට සුදුසු පුද්ගලයො පත්වෙනවා නම් ඒක යහපතක්. අනෙක මම කියන්නෙ නැහැ මේ මරණයේ සම්පූර්ණ වගකීම ඒ ක්ලබ් එක භාරගන්න ඕන කියල. නමුත් එහි වගකීමේ යම් ප්‍රතිශතයක් ඒ ක්ලබ් එක භාරගන්න ඕන.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි ආනන්ද වෙඩිසිංහ නම් යතුරුපැදි ධාවන ශූරයාගේ හදිසි අභාවය ගැන අප කරුණු විමසා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාද වන දයාසිරි ජයසේකර මහතා ගෙනි.

ඔහු කියා සිටියේ මින් පසුව මෙවැනි ආකාරයෙන් යතුරුපැදි ධාවන තරග සංවිධානය කිරීමට ඉඩ නොතබන බවය. ඉදිරියේදී යතුරුපැදි ධාවන තරග සඳහා සහභාගි වන ඕනෑම ක්‍රීඩකයකුට රක්ෂණ ආවරණයක් තිබේ දැයි පරීක්ෂා කිරීම පළමු කරුණ ලෙස සලකන බවද කී ක්‍රීඩා අමාත්‍යවරයා,

“දෙවැනි කාරණය තමයි ඔවුන් සම්බන්ධව අවශ්‍ය පහසුකම් තිබෙනවාද කියන එක. ඔය කියන නුවරඑළිය තරගයේදී හරි හැටි ගිලන් රථ පහසුකම් තිබිලා නැහැ. ඒ අවම පහසුකමවත් තිබිලා නැහැ. මොනව හරි වරදක් වුණාම විතරක් අපේ අමාත්‍යාංශයට තමයි ඇඟිල්ල දික්කරන්නෙ. ඒ නිසා මම තීරණය කළා. තරගයකදී සියලුම වෛද්‍ය පහසුකම් ඇති බවට සහතිකයක් ඔවුන් මින් පසුව ඉදිරිපත් කළ යුතුයි. මෙකී වගකීම තරග සංවිධායකයන් ගත යුතුයි. ආනන්ද වෙඩි සිංහගෙ මරණය අපි විශාල පාඩමක් බවට පත්කරගත යුතුයි. තවත් මෙහෙම වෙන්න දෙන්නෙ නැහැ. ඔහුව බේරගන්න විනාඩි 20ක් යනතෙක් ඔහු රෝහලට ගෙනියලා නැහැ. ඒ අනතුරෙන් පසුව එදා රේස් එක නතර කරලා තිබුණෙත් නැහැ. මම ඒ මොහොතේ මහනුවර වෛද්‍යවරුන්ට කතා කරලා ලෙඩා ගෙනාපු විගස ප්‍රතිකාර කරන්න වටපිටාව සකස් කළා. ඔහු ජපානයට ගෙනියන්න රුපියල් මිලියන 39ක් අවශ්‍යයි කිව්වා. අපිට එහෙම මුදලක් හොයාගන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ජපාන තානාපතිවරයාත් සමඟ ඒ ගැන සාකච්ඡා කළා. රක්ෂණ සමාගම් සමඟත් කතා කළා. ඊළඟට මම ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ උත්සාහයක යෙදී ඉන්න අතරේ තමයි ආනන්ද මිය ගියේ” යනුවෙන් පැවැසීය.

සිරිනාම රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here