විපතටපත් ජීවිත බේරාගන්න ගිහින් ජීවිතය පූජා කළ වීර සෙබළා.

ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්. කොහොම කොතැනදී, වයස තියෙද්දීද මැරෙන්නේ කියන්න කාටවත්ම බැහැ. තවත් කෙනකුගේ ජීවිතය බේරාගන්න ගොස් ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වූ ශෝචනීය පුවත වාර්තා වුණේ කාගේත් සිත් සසල කරමිනි.

එසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්වූයේ ගම්පහ කොටුගොඩ පදිංචි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බළපන්ති සැරයන් වයි. එම්. එස්. යාපාරත්නයි. ඔහු 32 හැවිරිදි වියේ පසුවූ එක් දරු පියෙකි. තිදෙනකුගෙන් යුත් පවුලේ බඩපිස්සා වූ යාපාරත්නට වැඩිමල් සොහොයුරෙක් හා සොහොයුරියක්ද සිටී. ඔවුන්ගේ උපන්ගම වන්නේ දෙහිඅත්තකණ්ඩියයි. වැඩිමල් සොයුරාගේ අඩි පාරේ යමින් යාපා රත්න මහතාද ගුවන් හමුදාවට බැඳුණේ රට වෙනුවෙන් සේවය කිරීමටයි. ගංවතුරෙන් පීඩාවට පත් පිරිසක් ජීවිතයත් මරණයත් අතර සටන් වදින මොහොතක තිදෙනකුගේ ජීවිත බේරාදී සිවු වැනියා බේරා ගැනීමට යෑමේදී කේබල් එක කඩා වැටී බිම ඇද වැටුණේ කවුරුත් නොසිතූ අයුරිනි. කෙසේ නමුදු ඔහු අන්තිමට බේරා ගන්නට උත්සාහ කළ පුද්ගලයාද තම ජීවිතය බේරාගෙන ඇත. මෙම අවාසනාවන්ත සිද්ධිය වූයේ 26 වැනි දින උදෑසන 9.00ට ගාල්ල නෙළුව ප්‍රදේශයේදීය.

ඔහුගේ ඥාති සොයුරු එම්. බී. රාජනායක මහතා පවසා සිටියේ වයස අවු. 9ක පුතකු යාපාරත්න මහතාට සිටින බවයි. තම පුතුගේ දඟකාරකම් බලමින් සතුටු වෙමින් සිටි යාපාරත්නට සිදු වූයේ කවුරුත් නොසිතූ අයුරින් ජීවිතයේ සුන්දරම කාලයේ ජීවිතය හැරදා යෑමටයි. පුංචි පුතු 4 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබයි. යාපාරත්න මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාතිමිත්‍රාදීන් මෙන්ම ගම්වාසීන් විශාල පිරිසක් එක් රැස්ව සිටියේ සෝ සුසුම් හෙළමිනි. මෙසේ පුංචි පුතු හා බිරියව සදහටම තනිකර යාපාරත්න මහතා සැමගේ සෝසුසුම් මැද ඊයේ (29දා) සඳුදා සවස කොටුගොඩ සුසාන භූමියේදී මිහිදන් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here