විදෙස් ප්‍රතිපත්තියේ සාර්ථකත්වය ගැන ජනපති තතු පහදයි

විපතට පත් ශී‍්‍ර ලාංකීය ජනතාවට සහන සැලසීමට ජාත්‍යන්තර ප‍්‍රජාව පරිත්‍යාගශීලීව ඉදිරිපත්වීම තුළින් වත්මන් රජයේ මිත‍්‍රශීලි විදේශ ප‍්‍රතිපත්තියේ සාර්ථකත්වය මැනවින් පිළිබිඹු වන බව ජනාධිපතිතුමා පවසයි.දිවයිනට පැමිණ සිටින මාලදිවයින් විදේශ අමාත්‍ය ආචාර්ය මොහෙමඞ් අසීම් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

විපතට පත් ශී‍්‍ර ලාංකීය ජනතාවට සහන සැලසීමට මාලදිවයින් රජයෙන් ලබාදුන් දායකත්වය පිළිබදව මෙහිදී ජනාධිපතිතුමා මාලදිවයින් රජය සහ ජනතාව වෙත සිය ස්තූතිය පිරිනැමීය.මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සදහන් කළේ විපතට පත් ශී‍්‍ර ලාංකීය ජනතාව වෙනුවෙන් ලබාදිය හැකි සියලූ සහයන් ලබාදීමට තම රජය කටයුතු කරන බවයි.

හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය සියලූදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත මාලදිවයින රජය සහ ජනතාව වෙනුවෙන් සිය දැඩි සංවේගය පළ කළ මාලදිවයින් විදේශ අමාත්‍යවරයා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කණගාටුව පළ කෙළ්ය.ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින අතර අතීතයේ සිට පවතින සමීප සබදතාවය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා දෙරට අතර පවතින සියලූ සබදතා ශක්තිමත් කර ගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.

දෙරට අතර සංචාරය කරන ඇතැම් සුළු පිරිසක් අපරාධ සහ ජාවාරම්වල නියැළීම පිළිබදව සොයා බැලීමට රජය කටයුතු කරන බව පැවසූ ජනාධිපතිතුමා එම කටයුතුවලට සහයෝගය ලබාදෙන ලෙස මාලදිවයින් විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.විදේශ අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, මාලදිවයින් මහකොමසාරිස් Zahiya Zareer යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here