ව්‍යවතාවට අනුව මහින්දට ආය බලයට එන්න බෑ – මල්ලි කියලා කතාකරපු අපිට යකෙක් වගේ සැලකුවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව මම මුණගැහෙන්න තිසාවැවේ ජනාධිපති මන්දිරයට ගිහිල්ලා, මට විනාඩි පහක් දෙන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා සාකච්ඡා කරන්න කියලා. එච්චරයි මම කිව්වේ. බනින්න ගත්තා. විනාඩි පහයි මම කතා කරන්න ඉල්ලුවේ. පැය භාගයක් මට බැන්නා. ආදරයෙන් අපි ගොඩනඟාගත්ත නායකයෝ අපි මහජන නියෝජිතයෝ ලෙස ගිහින් ප්‍රශ්නයක් කතා කළාම අපිට දක්වපු ප්‍රතිචාර එහෙම යැයි උතුරු මැද පළාත් සමුපකාර ප්‍රවාහන හා ක්‍රීඩා අමාත්‍ය සුසිල් ගුණරත්න මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ තිරප්පනේ පැවැති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

පසුගිය දවස්වල උතුරු මැද පළාත් සභාවේ බල පෙරළියක් ඇති වෙන්න ගියා. ඒ අවස්ථාවේදී මමත් හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමේ.
ඔය බල පෙරළිය වෙන්න හදනකොට අපේ නන්දසේන ඇමැතිතුමාගේ අමාත්‍යාංශය ඉවත් කළා. ඒ අවස්ථාවේදී උතුරු මැද පළාත් සභාවේ ඇමැතිකමක් දැරූ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන් මහතාට, එතුමාගේ අයියා වන එස්.එම්. චන්ද්‍රසේන ඇමැතිතුමා කියලා තියෙනවා මල්ලි ඔයත් අයින් වෙන්න දැන් අපිට උතුරු මැද පළාත් සභාව පෙරළන්න හොඳ අවස්ථාව කියලා. මාධ්‍යයට විවිධ ආකාරයේ කරුණු කාරණා ඉදිරිපත් කරමින් අපි උතුරු මැද පළාත් සභාව වටලනවා කියලා මහා ලොකුවට කයිවාරු ගැහුවා.

ඕක ඔහොම ඇදි ඇදී යන අතරේ උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න මැතිතුමා මං ළඟට ඇවිත් කිව්වා මන්ත්‍රිතුමා මේ අවස්ථාවේ මට උදවු කරන්න මේ ඇමැතිකම් භාර ගන්න කියලා. ප්‍රධාන ඇමැතිතුමාව අපට අමතක කරන්න බැහැ. අපි ඉල්ලපු ඉල්ලපු හැම උදවු උපකාරයක්ම ජනතාව වෙනුවෙන් කරලා දීපු නායකයෙක්. ඒ අනුව එතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරිව මම මේ අමාත්‍යාංශය භාර ගත්තා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අපි ගරු කරනවා. හැබැයි එතුමාට නැවත වාරයක් මේ රටේ ජනාධිපති වෙන්න බැහැ. අපිට ලැබුණු ආරංචි මාර්ග හැටියට ඉදිරියේදී සංශෝධනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙවතාවක් මේ රටේ ජනාධිපති ධුරය දරපු කිසි කෙනකුට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුවත් වෙන්න බැරි විදියේ අණපනත් සම්මත වෙනවා.

අපි පුද්ගල වන්දනාවේ යෙදිලා වැඩක් නැහැ. අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගරු කරනවා. එතුමා යුද්ධය අවසන් කළ නිසා. නමුත් කවරදාකවත් එතුමාට නැවත මේ රටේ රාජ්‍ය නායකත්වයට එන්න බැහැ. ඒක සිහිනයක් විතරයි.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළ කැප කිරීම් වචනයෙන් කියලා නිම කරන්න බැහැ. 1994 ජනවාරි හෝ පෙබරවාරි දකුණේ පළාත් සභා මැතිවරණය පැවැත්වුණා. බර්ටි දිසානායක මහ ඇමතිතුමා සමඟ අපි කඳවුරු බැඳගෙන මැතිවරණ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තංගල්ලේ කාල්ටන් නිවෙසට වාර්තා කරන්න කියලා තිබුණා. මට භාර වුණේ බෙලිඅත්තේ අරන්වල ගමේ ජනතාව ඒකරාශි කිරීමයි පැවරුණේ.

මම ඒ කාර්ය කරන ගමන් රෑ යනවා මහින්ද මහත්තයාලගේ ගෙදර නිදාගන්න. අපිට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි දාලා කාමර දුන්නේ නැහැ. පිට පළාත්වලින් ගියපු අපි කට්ටිය අගුවේ නිදා ගත්තේ. කන්න බොන්නත් නැහැ. කඩේකින් පාන් කෑල්ලක් කාලා අපි ගෙනියපු බෙඩ් ෂීට් එළාගෙන අපේ බෑග් ඔළුවට තියාගෙන අපි මාසයක් දුක් වින්දා. ඒ දවස්වල අපි දැක්කාම එන්න මල්ලි කියලා පිටට තට්ටු කරලා කොහොමද කියලා සැලකුවේ. හැබැයි ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ අපි එදා දැකපු මහින්ද නෙවෙයි හිටියේ. යකෙක් තමයි දැක්කේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here