ලසිත් මාලිංගගේ සහභාගිත්වය වැට උඩ

එංගලන්තයේදී ලබන ජූනි මස පැවැත්වෙන අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලට සහභාගි වීමේ තීරණය පුහුණු තරගවලදී ඔහු පන්දු යවන ආකාරය අනුව රඳා පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. එම තරග වලදී ලසිත් මාලිංග ඕවර 10 යවන ආකරය අනුව ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලට සහභාගි වන්නේද නැද්ද යන්න තීරණය වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ආබාධය සුවවීමෙන් පසුව නැවත සංචිතයට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් නැවතත් එක්දින පිලේ නායකත්වයට පත්කර ඇති අතර උප නායකත්වය උපුල් තරංගට හිමිවී තිබේ. අයි.පී.එල්. තරගාවලියට සහභාගි වී සිටි ඇන්ජලෝ මැතිව්ස් තරගාවලිය අතහැර පෙරේදා රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.

නිත්‍ය උප නායකත්වයට පත්කර සිටි දිනේෂ් චන්දිමාල් පසුගිය සංචාරවලදී අසාර්ථක වීම හේතුවෙන් සාමාන්‍ය ක්‍රීඩකයකු ලෙස සංචිතයට ඇතුළත් කර තිබේ.

අයි.සී.සී. ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (24) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා වැඩි දුරටත් මාලිංග සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“ඔහුගේ ශාරීරික යෝග්‍යතාවයේ ප්‍රශ්නයක් නෑ. ඒත් ඔහු ඕවර 10 ක් යවන්න හොඳ තත්ත්වයක නෑ. ඔහු ඕවර තුනක් හෝ හතරක් යවන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ඔහු අයි.පී.එල්. තරගාවලියට පිටත්ව යෑමට පෙර කිව්වා ඕවර 10 යවන්න තරම් ඔහු හොඳ තත්ත්වයේ ඉන්නවා කියලා”

“ඔහු මේ වන විට ඕවර 10 ක් යැවීමේ තත්ත්වයට පත්වෙමින් ඉන්නවා. අයි.පී.එල්. තරගාවලිය තුළ ඔහුට පුහුණුවීම්වලට හොඳ පරිසරයක් තිබෙනවා. ඒ දෙස අපි බලාගෙන ඉන්නවා”

“අපි බලාගෙන ඉන්නවා මාලිංගට තරග පුහුණුව ලබා දෙන්න. පුහුණු තරග හතරක් තියෙනවා.
ස්කොට්ලන්තයට එරෙහිව පුහුණු තරග දෙකක්, නවසීලන්තයට සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව අපි පුහුණු තරගවලට සහභාගි වෙනවා. මාලිංගට ඕවර 10 දාන්න මේ පුහුණු තරග හතර ඉතාමත් වැදගත්”

“මාලිංගගේ ශාරීරික යෝගයතාවයේ ප්‍රශ්නයක් නෑ. පුහුණු තරගවලදී ඔහුගේ තරග ශාරීරික යෝග්‍යතාව පිළිබඳව බලන්න ඕනේ. මාලිංග කියන්නේ ඉතාමත් වැඳගත් ක්‍රීඩකයෙක්. අපි මාලිංගගේ තරග තත්ත්වය පිළිබඳව බලාගෙන ඉන්නවා”

“ඔහු අනිවාර්යෙන් සංචිතයත් සමඟ ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ ඔහුගේ තරග යෝග්‍යතාව පමණයි. තරග හතක් ක්‍රීඩා කරන්න තියෙනවා. අපි ඔහුව කළමනාකරණය කරමින් සිටිනවා” යැයි සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පැවසුවේ ලසිත් මාලිංග යනු අමුතුවෙන් දස්කම් පරීක්‍ෂා කිරීමේ අවශ්‍යතාවක් ඇති ක්‍රීඩකයකු නොවන බවයි.

“මාලිංග කියන්නේ ගොඩක් අත්දැකීම් සහ ලොකු වටිනාමක් ඇති ක්‍රීඩකයෙක්. මාලිංග බලාපොරොත්තුවෙන් ඉන්නවා එක්දින තරගාවලියකට සහභාගි වෙන්න. ඔහු ඒ බව අපිට ලිඛිතව දැනුම්දීලා තියෙනවා”

“මාලිංග දැන් 100% ක්ම හොඳ තත්ත්වයේ ඉන්නවා. මම හිතනවා මාලිංග මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනී කියලා” යැයි ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ මෙම තරගාවලිය සඳහා තමන්ට ශ්‍රී ලංකාවේ සිටින හොඳම කණ්ඩායම ලැබී ඇති බවයි.

“අපි මේ තරගාවලිය ලංකාවේදීම ආරම්භ කරනවා. ඉදිරි සති දෙක තුන ඉතාම වැඳගත්. එංගලන්තයට අපි කලින් යන නිසා එහි ගත කරන දින 12 හෝ 14 ඉතාමත් වැඳගත්. අපි මීට පෙරත් එංගලන්තයට කලින් ගිහින් තමයි තරග ජය ගත්තේ”

“අයි.සී.සී. කුසලානයක් ලංකාවට ගෙන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා” යැයි මැතිව්ස් වැඩි දුරටත් පැවසීය.

මෙම තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් සංචිතයට නිත්‍ය පිට දඟ පන්දු යවනන්නකු සහ නිත්‍ය වමතින් දඟ පන්දු යවනන්කු නොමැතිවීම පිළිබඳව කළ විමසුමේදී තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා මෙසේ පැවසීය.

“මෙය මගේ තේරීම් කමිටු සේවයේ තෝරාගත් වඩාත් අමාරුම කණ්ඩායමයි. දීර්ඝතම සාකච්ඡාවක් කරලයි සංචිතය නම් කළේය”

“මෙහිදී පිට දඟ පන්දු යවන්නාගේ කාර්ය අසේල ගුණරත්නට බාරදීලා තියෙනවා. පා දඟ පන්දු යවන්නා හැටියට සීකුගේ කටයුතු කරනවා. අපි දැක්කා පසුගිය සංචාරවලදී සඳකැන් ඉනිම මැදදී කඩුලු දවාගත්තා. ඒ නිසයි ඔහුව සංචිතයට ඇතුළත් කළේ”

මෙම සංචාරය සඳහා 17 දෙනකුගෙන් යුත් සංචිතයක් සහභාගි වන අතර ඉන් පළමු 15 දෙනා පමණක් ‘ශූරයන්ගේ කුසලාන’ තරගවලියේ නිල සංචිතයට ඇතුළත් කෙරේ. පිට දඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරා සහ ඉදිරි පෙළ පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලක කිසියම් ක්‍රීඩකයකු ආබාධයකට ලක්වුවහොත් කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා අතිරේක ක්‍රීඩකයන් ලෙස සංචිතයට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා සංචිතය මැයි මස 2 වැනිදා පුහුණුවීම් ආරම්භ කරන අතර 9 වැනිදා විශේෂ පුහුණු සැසියක් සඳහා පල්ලෙකැළේ බලා පිටත්ව යෑමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 17 වැනිදා එංගලන්තය බලා පිටත්ව යයි.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පුහුණු තරග දෙක මැයි මස 21 සහ 23 දෙදින කෙන්ට්හිදී පැවැත්වේ. ඕස්ටේ්‍රලියාවට එරෙහිව පුහුණු තරගය මැයි මස 26 වැනිදා ද, නවසීලන්තයට එරෙහිව පුහුණු තරගය මැයි මස 30 වැනිදා ද, පැවැත්වීමට නියමිතය.

ශූරයන්ගේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චාමර කපුගෙදර, අසේල ගුණරත්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, නුවන් කුලසේකර, තිසර පෙරේරා, ලක්‍ෂාන් සඳකැන් සහ සීකුගේ ප්‍රසන්න
සංචාරයට සහභාගි වන අතිරේක ක්‍රීඩකයෝ: ඩිල්රුවන් පෙරේරා සහ ධනුෂ්ක ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here