රටෙන් කොටසක් පිට රටකට පාවාදෙන්න මම ජනාධිපති පුටුවට ආවේ නැහැ

මාතෘ භූමියට අවාසිදායක කිසිදු ගිවිසුමක් අස්සන් නොකරන බවත් තමන් බලයට පත්වූයේ රටෙන් කොටසක් තවත් රටකට ලබාදී රටට අහිතකර ගිවිසුම්ලට විදේශ රටවල් සමඟ අස්සන් තබා ජනතාවගේ වරප්‍රසාද සහ අයිතීන් අහිමි කිරීමට නොවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මේ අවස්ථාවට රුවන්වැලි සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද ආණ්ඩුකාර පී. බී. දිසානායක, ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට වැදගත් වන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අවස්ථාවක රටේ පොදු ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් නිදහස් පරිසරය විනාශ කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන දේශපාලන බලවේග පිළිබඳ තමන් කනගාටුවට පත්වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අනුරාධපුර පළාත් සභා සංකීර්ණයේ ඉදිකළ අභිනව බුද්ධ ප්‍රථිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

අපේ රටේ යහපත් සමාජයක් ගොඩනැඟීමේ කාර්යයේදී අපි සැමවිටම බෞද්ධයන් විදියට බලාපොරොත්තු වෙන්නේ අද දවසේ ජීවත් වන මිනිසුන් වගේම හෙට දවසේ උපදින දරුවන් සඳහා යහපත්, ගුණගරුක, විනයගරුක, ශිෂ්ට සමාජයක් ගොඩනැඟීමටයි. ප්‍රතිපත්තිමය වශයෙන් දාන, ශීිල පින්කම් කරමින් අපේ සාමජය ප්‍රබුද්ධ සමාජයක් ලෙස ගොඩනැඟීමට කටයුතු කරනවා වගේම අපේ රටේ භෞතික සංවර්ධනය වෙනුවෙන් ආර්ථික තත්ත්වය වර්ධනය කරන්න අපි රජයක් විදියට අද වැඩ රාජකාරි රාශියක් ඉටු කරනවා.

අපේ හාමුදුරුවනේ සමහර අය අපෙන් අහනවා මේ ආණ්ඩුව අවුරුදු දෙක හමාරක් තුළ කෙරුවේ මොනවාද කියලා. සමහර අය අහනවා අනුරාධපුරයට, පොළොන්නරුවට මොනවද කළේ කියා. මම බොහොම කෙටියෙන් සරලව කියනවා නම් මේ අවුරුදු දෙක හමාරේ කරපු දේවල් පොතක් ලියන්න පුළුවන්. ඒ තුළ ඉතා වැදගත් ප්‍රමුඛතාවක් ලැබෙන්නේ අවුරුදු 60කට වැඩි කාලයක් ජලය ඉල්ලා හඬපු රජරට ජනතාවගේ දුක්මුසු කඳුළු කතාව නිමා කරමින් මොරගහකන්ද-කළු ගඟ ජලාශය ක්‍රියාත්මක වීමටයි.

මිනිසුන් හැදීම, යහපත් කිරීම, සුවපත් කිරීම වගේම වඩා ගුණගරුක සමාජයක් සමඟ කටයුතු කිරීමේදී මෙවැනි පුළුල් සංවර්ධන කාර්යයන් රට පුරා කරගෙන යන අවස්ථාවලදී තමයි වැඩවර්ජන සිදු කරන්නේ.

සයිටම් ආයතනයේ ඉගෙන ගන්නා දරුවන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුවක් දීම අනිවාර්ය කළා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන විභාගයට මේ ළමයි අනිවාර්යයෙන් පෙනී සිටිය යුතුයි කියලා මේ ළමයි තීන්දු කළා. ඒ වගේම වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් ගැසට් කළ යුතුයි කියලා තීන්දුවක් ගත්තා. සයිටම් රෝහල රජයට පවරාගන්න අපි තීරණය කළා. තනි පුද්ගලයෙක් අත තිබුණු සයිටම් ආයතනය සාමූහික ව්‍යාපාරයක් විදියට ඉදිරිපත් කළ යුතුයි කියන නියෝගය නිකුත් කළා. තනි පුද්ගලයකුගේ අත තිබුණ සයිටම් විද්‍යාලය රජය විසින් නිර්දේශ කරනු ලබන පාලක මණ්ඩලයක් අතට පත්විය යුතුයි කියන තීරණය ගත්තා. මම අහනවා තවත් මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා.

ඉතාම වන්දනාමාන කරන ගරු කරන බුදුපියාණන් වහන්සේගේ උපත සිදුවූ ඒ බෞද්ධ රටේ අගමැතිතුමා නරේන්ද්‍ර මෝඩි මැතිතුමාට අප ආරාධනා කරලා තියෙනවා. එතුමා ලංකාවට පැමිණෙනවා ජාත්‍යන්තර වෙසක් උළෙලේදී වැඩසටහන් සඳහා. මම දැක්කා සමහර අය කියලා තියෙනවා ඉන්දීය අගමැතිතුමා එන දවසේ කළු කොඩි ඔසවන්න කියලා.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ පාදෙණිය මහත්මයා මම දන්න විදියට හොඳ බෞද්ධයෙක්. හැම පෝයටම සිල් ගන්න කෙනෙක්. හොඳට භාවනා කරන කෙනෙක්. මගේ හිතවතෙක්. මේ වෙසක් සතිය, වෙසක් මාසය, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් සතියක් මේ. ඒ වගේම මෙය මුළුමහත් බෞද්ධ ජනතාවට වැදගත් වන අවස්ථාවක මෙවැනි වර්ජන තුළින් මහා අකුසල කර්ම කරගන්න එක කොතෙක් දුරට අපේ බෞද්ධකමට ගැළපෙනවාද කියන කාරණාව සිතා බැලිය යුතුයි.

ප්‍රශ්නයක් තිබෙනවා නම් ඕනෑම වෘත්තීය සමිතියකට ඕනෑම කෙනකුට අපිත් සමඟ සාකච්ඡා කරන්න පුළුවන්. පසුගිය මාස කිහිපයේ මේ සියලු සංවිධාන ගෙනැල්ලා මම මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා. ඒ අවශ්‍ය විසඳුම් ලබාදී තිබෙනවා. එවැනි විසඳුම් ලබාදී තිබියදීත් සයිටම් ආයතනයට කිසිදු සම්බන්ධයක් නැති ඇතැම් ප්‍රශ්න අද වැඩ වර්ජනයේ ඉල්ලීම් විදියට දාලා තිබෙනවා. වැඩවර්ජනයට දාලා තියෙන එක ඉල්ලීමක් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් අස්සන් කරනු ලබන විදේශ රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න කියලා. ඉතින් මේකට වැඩවර්ජනයක් කරන්න ඕන නැහැනේ.

කිසිම රටක් එක්ක මේ ආණ්ඩුව අද වෙනකම් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කරලා නැහැ. ඒ වගේම එවැනි වෙළෙඳ ගිවිසුම් අද වෙනකම් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඇවිත් නැහැ. යම් යම් ස්ථානවල සාකච්ඡා වෙනවා. එහෙම සාකච්ඡා වෙනකොට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. මේ රටේ විශේෂයෙන් වෘත්තිකයන්ගේ සංවිධාන වෛද්‍ය, ඉන්ජිනේරු, තාක්ෂණ ආදී සියලු අංශවල වෘත්තීය සමිති සමඟ අපේ විෂය භාර අමාත්‍යවරු සාකච්ඡා කළා ඉදිරියේදී සකස් කිරීමට බලාපොරොත්තු වන ගිවිසුම් පිළිබඳව. මම බොහොම පැහැදිලිව මේ ඓතිහාසික බෞද්ධ පුරවරයේදී කියනවා ඔබේ මගේ මේ මාතෘ භූමියට කිසිදු අවාසිදායක වෙළෙඳ ගිවිසුමක් හෝ වෙනත් ගිවිසුමක් අස්සන් කරන්න සම්මුති ඇති කර ගන්න මම ඉඩ තියන්නේ නැහැයි කියලා. අපි මේ තනතුරුවලට ආවේ අපේ රට රැකගන්න. අපේ ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් ඇති කර ගන්න. යහපත් සමාජයක් ඇති කරන්න.

සියලු අභියෝගවලට මුහුණ දීලා ශක්තිමත රජයක් විදියට ඒ සියලු කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමැතියි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here