යුනිස් ඛාන් ටෙස්ට් ලකුණු 10,000 සමාජයට

Pakistan's batsman Younis Khan celebrates after reaching his 10,000th run in Test matches, on day three of the first Test match between West Indies and Pakistan at the Sabina Park in Kingston, Jamaica, on April 23, 2017. Khan is the first Pakistani batsman to reach the 10,000th Test run landmark. / AFP PHOTO / Jewel SAMAD

පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 ක් ලැබූ පළමු පිතිකරු ලෙස වාර්තාපොතේ අලුත්ම පරිච්ඡේදයක් ලියූ යූනිස් ඛාන් ඉනිම ආරම්භ කිරීමට ඊයේ ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා උද්‍යාන ක්‍රීඩාංගණයට පා තබද්දී මේ අපුරු කඩඉම සම්පූර්ණ කිරීමට ඔහුට අවශ්‍යව තිබූණේ ලකුණු 23ක් පමණි. සිය පළමු ලකුණ ලබාගැනීමට මිනිත්තු 47ක්ම වැය කළ මේ පිතිකරුවාට ටෙස්ට් ලකුණු 10,000 සීමාව සම්පූර්ණ කිරීමට එක් ලකුණක් අඩුවී සිටියදී තවත් පන්දු 84 ක්ම කල් මැරීමට සිදුවිය.

එහෙත් අන්තිමේදී රොස්ටන් චේස්ගේ පන්දුවකට හතරේ සීමාවට ඇදී යනසේ අලංකාර ස්වීප් පහරක් එල්ල කරමින් මේ අපූරු වාර්තාව අත්පත් කරගැනීමට ඔහු සමත්විය. ස්වීප් පහර ගැසීමත් සමග උඩ පැන හිස් අහසට පහරක් ගැසූ යූනිස් ඊළඟට ක්‍රීඩා මණ්ඩපය වෙත හැරී සිය සගයන්ට ආචාර කළේය.

අන්තර්ජාතික ටෙස්ට් පිටියේ ලකුණු 10,000 සම්පූර්ණ කළ 13 වැනි පිතිකරු ලෙසත් යුනිස් ඛාන් වාර්තා පොතට එක්විය. කොදෙව් සංචාරයෙන් පසුව ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ නිවේදනය කල් තියාම කළ යූනිස්ට මේ කඩඉම අතිශය වැදගත් එකකි. අනිත් අතට පාකිස්තානය වෙනුවෙන් එවැනි හපන්කමක් කළ පළමුවැන්නා නිසා ඔහුගේ වාර්තාව අනභිබවනීය එකකි.

මේ වාර්තාව තැබීමට යුනිස් ඛාන් වසර 17 ක දීර්ඝ ගමනක නිරතවිය. මුදලට තරග පාවාදෙන.. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිරුණු සහ නිතර නිතර බෝම්බ පිපිරෙන පාකිස්තානය වැනි රටක පිතිකරුවකුට එය එතරම් පහසු කාර්යයක්ද නොවේ. ශ්‍රී ලංකා පිල ගමන්ගත් බස් රියට වෙඩි තැබූ 2009 වසරේදී ඔහු එක් ටෙස්ට් තරගයකට හෝ ක්‍රීඩා කළේ නැත. ඇරත් 2009 වසරෙන් පසුව ඔවුන්ට පාකිස්තානය තුළ ටෙස්ට් ක්‍රීඩාවත් නැතිවිය.

එසේ වුවත් ඉන් පසුව සෑම රටකදීම ලකුණු අතරට පිවිසීමට සමත්වූ යුනිස් ඛාන් ටෙස්ට් ක්‍රීඩාවේ නිරත රටවල් 11 දීම ශතකයක් ලැබූ එකම පිතිකරු බවට ද පත්විය. මීට පෙර සචින් තෙන්ඩුල්කර්, රිකී පොන්ටින්, කුමාර් සංගක්කාර, ජැක් කලීස්, රාහුල් ද්‍රාවිඞ්, බ්‍රයන් ලාරා, මහේල ජයවර්ධන, ඇලන් බෝඩර්, සුනිල් ගවස්කර්, ඇලෙස්ටෙයාර් කුක්, ශිව්නාරින් චන්දර්පොල් සහ ස්ටීව් වෝ ටෙස්ට් ලකුණු 10,000 කඩයිම පසුකර ගිය විශිෂ්ටයෝ වූහ.

වසර 2000දී ටෙස්ට් වරම් ලැබූ මේ ජ්‍යෙෂ්ඨ දකුණත් පිතිකරුවා ලකුණු 10,000 වාර්තාව සම්පූර්ණ කළේ ඔහුගේ 208 වැනි ටෙස්ට් ඉනිමේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here