මොරගහකන්ද ජලාශයටත් , රාජගිරියේ ගුවන් පාලමටත් මෛත්‍රී කරපු වැඩේ මෙන්න

මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ විශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත්කර ජනතා අයිතියට පත්කිරීමේ මහෝත්සවය අද(8) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මොරගහකන්ද ප්‍රධාන වේල්ල මත සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහභාගී වූ අතර එහි ස්ථාපනය කර තිබූ විවෘත කිරීමේ ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ නිරීක්ෂණය ආරම්භ කළහ.

පසුව මැති ඇමැතිවරු පිරිවරා ගත් ජනාධිපතිවරයා මොරගහකන්ද වේල්ල මත සවිකොට තිබූ ස්වයංක්‍රීය ස්විචයකින් එහි වාන් දොරටු පහ විවෘත කරනු ලැබීය.

පසුව පැමිණ සිටි සියලු දෙනා මංගල දිය වරට මල් ඉසීම සිදු කරනු ලැබූහ. ගුවන් මගින් ද මල් ඉසීම මෙහිදී විශේෂත්වයක් විය.

මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුකරනු ලැබූ චීන සමාගම විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ජලාශයේ වැඩ නිමවා භාර දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබිණි.

මොරගහකන්ද – කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඇමරිකන් ඩොලර් 557.5 කි. මෙම ව්‍යාපෘතිය මගින් කාලාන්තරයක්‌ පුරා ඵලදායී කටයුත්තකට නොගෙන මහ සයුරට ගලාගිය ඝන මීටර් දශ ලක්‌ෂ 818 ක ජලස්‌කන්ධය පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් මින්නේරිය, ගිරිතලේ. කවුඩුල්ල, කන්තලේ සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් හුරුළුවැව, තිසාවැව, නුවරවැව, නාච්චාදූව වැව, මහකනදරාව වැව යනාදී ජලාශ මෙන්ම ඉන් පෝෂණය වන ලොකු කුඩා වැව් රැසකට නිකුත් කිරීම ද මෙමගින් සිදුකෙරේ.

මොරගහකන්ද ජලාශයට නමක් ලෙස විවිධ අය විවිධ නම් යෝජනා කළද තමන් ඒ සියලු නම් ප්‍රතික්ෂේප කළ බවත් එම ජලාශය ඉදි කිරීම සඳහා දැඩි කැපවීමක් කළ ඉංජිනේරු ඒ .එන්.එස්. කුලසිංහ මහතාගේ නම යොදා ඉංජිනේරු ඒ.එන්. එස් කුලසිංහ ජාලශය ලෙස නම් කිරීමට තමා යෝජනා කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කීය.

රාජගිරියේ ගුවන් පාලමට පුජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමිගේ නම යොදන්න ජනපති නිර්දේශයක්!

සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පීත්ත පටිය කපා නව ගුවන් පාලම විවෘත කිරීම ජනාධිපති සහ අගමැති අතින් සිදු විය. ගුවන් පාලම ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.

මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීට සමගාමීව අවට මාර්ග රුසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට වන මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කිරීමට නියමිතය.

ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ඉතිහාසයට එක්වෙයි.

එහිදී පැවැති උත්සව සභාව අමතමින් ජනපති ප‍්‍රකාශ කළේ ඉකුත් වසර 03 තුළ වත්මන් රජය ජනතාව වෙනුවෙන් රට තුළ ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ කඩිනමින් නිම කෙරුණු තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙම ගුවන් පාලම හඳුන්වාදිය හැකි බවයි.

ජනවාරි 8 වැනිදා දේශපාලන විප්ලවයට නායකත්වය දුන් සුවිශේෂී චරිතයක් වන මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ නමින් මෙම ගුවන් පාලම නම් කිරීම සුදුසු බවද ජනපතිවරයා මෙහිදී යෝජනා කළේය.

අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here