මැලේරියාව නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙනවා

සන්ධ්‍යා කරුණාරත්න

මැලේරියාව රෝගය මෙරටින් තුරන් කර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක් ලබා ගත්තද රෝගය නැවත රට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය දිනක මැලේරියා රෝගියකු කළුබෝවිල රෝහලෙන් වාර්තා වූ අතර ඔහු විදේශයක සිට පැමිණියකු බවත් මෙරටින් තුරන් කළ රෝගය නැවත පැතිර යාමට හේතුවක්ව තිබෙන්නේ සංක්‍රමණිකයන් බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී ඇත. ඒ නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇමැතිවරයා මේ බව ඊයේ (24) ප්‍රකාශ කළේය.

මැලේරියා රෝගය නැවත ව්‍යාප්ත නොවන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් ගත යුතු පියවර මේ වන විට ගෙන ඇති බවත් වසර 2030 වන විට ලෝකයෙන් මැලේරියා තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේය.

මෙරට මැලේරියා රෝගය බහුලව පැවැති කාලයේදි වාමාංශික පක්ෂවලට බලය තහවුරු කර ගැනීමට රෝගය හේතු සාධක වූ බවත් 2012 වසරෙන් පසුව මෙරටින් කිසිදු මැලේරියා රෝගියකු වාර්තා නොවූ බවත් ඇමැතිවරයා පැවැසීය.

සංක්‍රමණිකයන්, ව්‍යාපාරිකයන් නිසා රෝගය නැවත මෙරටට පැමිණීමේ අවදානමක් පවතින අතර රෝගය මර්දනය කිරීම සඳහා ගත යුතු සියලු පියවර ගැනීමට වාර්ෂිකව විශාල මුදලක් වෙන් කරන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

විදේශයන්හි සිට මෙරටට පැමිණ ඉදිකිරීම් කටයුතු ඇතුළු වෙනත් රැකියාවල නිරත වන්නන්ගේ මැලේරියාවට අදාළ රුධිර පරීක්ෂාව සිදු කරන බවත් එමඟින් මැලේරියාවට තිබෙන ලොකුම බාධාව ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

සංක්‍රමණිකයන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් මෙරට ක්‍රියාත්මක කරන්නට ද ඉදිරියේදි රජයේ අනුග්‍රහය ඇතිව වැඩපිළිවෙළක් සකස් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවැසුවේය.

මේ අවස්ථාවට ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතාද සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here