මංගල, නව පත්වීම්, මිලදීගැනීම් හා ටෙන්ඩර් නවත්වයි !

නව පත්වීම්, මිලදී ගැනීම් හා ටෙන්ඩර් නැවත දැනුම්දෙනතුරු නවත්වන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා දැනුම් දී තිබේ.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් ඊයේ (02) එම ආයතනයට සේවකයින් 35 දෙනෙකු බඳවා ගැනීමේ සිද්ධියක් හා තවත් සිද්ධීන් කිහිපයක් වාර්තාවීම හේතුවෙන් අමාත්‍යවරයා මේ නියෝගය සිදුකර ඇත.

එසේම මුද්‍රණ කඩදාසි වසර ගණනකට මිලදී ගැනීමක් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ අතර, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සිද්ධිය සම්බන්ධයෙන් සැලවූ මුදල් හා ජනමාධ්‍ය නියෝඡ අමාත්‍යවරයා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අමතා බඳවා ගැනීම් සිදුකළ යුතුවුවත් මේ කාරයට කටයුතු නොකරණ ලෙස උපදෙස් දී ඇති බවද පැවසේ.

රජයේ ජනමාධ්‍ය ආයතන ලොක්කන්ගෙන් ඉල්ලා අස්වීම ඉල්ලයි !

මේ අතර, සමරවීර මහතා රජයේ ජනමාධ්‍ය ප්‍රධානීන් ඊයේ (02) සිය අමාත්‍යංශයේදී  ගැසුණු අවස්ථාවේ එහි ප්‍රධානීන්ගෙන් ඔවුන්ගේ ඉල්ලා අස්වීම් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ මහතා අදාළ ඉල්ලා අස්වීම් ඉල්ලමින් පවසා ඇත්තේ කිසිවකු අදාළ තනතුරුවලට නැවත පත් නොකරතැයි අනියත බියක් තබාගතයුතු නැති බවත්, සම්ප්‍රදාය අනුව නව අමාත්‍යවරයකු පත්වූ පසු අමාත්‍යවරයාගේ අභිමතයට ඉඩදී ඉල්ලා අස්වීම් සිදු කිරීම සම්ප්‍රදායක් බවයි.

අදාළ, සම්ප්‍රදායට අනුව ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය නව අමාත්‍යවරයා පත්වූ වහාම සිය ඉල්ලා අස්වීම් ලබාදී තිබිණි.

මීට අමතරව, ලේක්හවුස් හා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලද සිය අස්වීම් ලබාදී ඇති අතර ඊයේ (02) රැස්වූ චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයද සිය ඉල්ලා අස්වීම් ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ගුවන් විදුලි සංස්ථාව, රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, රන්මිණිතැන්න සිනමා ගම්මානය හා සැලසිනේ යන ආයතන අධ්‍යක්ෂ මණ්ඩල මෙතෙක් සිය ඉල්ලා අස්වීම් ලබාදී නොමැති බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here