බුදුදහම හා ඒකීය රාජ්‍යට සීමාවූ ව්‍යවස්ථාවේ බිල්ලන් මැවීම?

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ පිළිබඳව විශේෂ උනන්දුවකින් හා කැපවීමකින් කටයුතු කරන බව පෙනේ. අවාසනාව එම කැපවීම හා උනන්දුව පහළට ගලා නො ඒමයි. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උනන්දුව මෙන් ම එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලීමේ යාන්ත්‍රණයක් සැකසිය යුතුය.

වර්තමානයේ සාකච්ජාවට බඳුන් වී ඇති නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කථිකාවත ඇරඹෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ සිටය. එහි දී ප්‍රධාන අපේක්ෂකයෝ දෙපළම ඒ පිළිබඳ තම ප්‍රතිපත්ති ප්‍රකාශනවල අඩංගු කිරීමට අමතක නොකළ හ.

“දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අලුතින් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යුහයක් හඳුන්වා දෙමි. මැතිවරණවල මනාප ක්‍රමය අහෝසි කරමි. සෑම මැතිවරණ කොට්ඨාසයකට ම අනිවාර්යයෙන් ම එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ සිටින බවට සහතික කරමි.”

“ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහිතව සම්මත කිරීම සඳහා නායකත්වය ලබා දිය යුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින්ය. මා මෙවර ජනාධිපතිවරණයට රටේම ජනතාවගේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කළේ මෙම කර්තව්‍යය සම්පූර්ණ කරලීම සඳහා ය. “මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්” මැතිවරණ ප්‍රකාශනයෙන් උපුටා ගත් ඉහත සඳහන් ප්‍රතිඥා තුළින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට වූ පොරොන්දුව පැහැදිලිය. 2015 ජනවාරි 8 වැනි දා ජනතාව අනුමත කළේ මෙම ප්‍රතිපත්තියයි.

ව්‍යවස්ථා පොරොන්දු

එසේ ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශනයේ ද නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනු ලබන බව පොරොන්දුවක් සටහන් වේ. “තව තවත් පැලැස්තර එකතු කිරීම වෙනුවට ජනතා පැතුම් පිළිබිඹු කෙරෙන නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත සම්මත කිරීමට අවශ්‍ය කටයුතු කරමි.” (මහින්ද චින්තනය – ලොව දිනන මඟ)

පංචවිධ ක්‍රියාවලිය මාස 60කින් අලුත් රටක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මැතිවරණ ප්‍රකාශනයේ ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස ඉදිරිපත් කර තිබේ.

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තැනීම පිණිස මිළඟ පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ සමඟ කටයුතු කරනු ඇත.”

මේ නිසා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ පැහැදිලි ජනවරමක් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජයට තිබේ. එමෙන් ම හිටපු ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ ප්‍රකාශනයේ ද එවැන්නක් සඳහන් වීම නිසා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ සියලු දෙනාටම ඊට සහාය දීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හා දේශපාලන සදාචාරයක් ඇත. මේ වන විට උතුරේ ද්‍රවිඩ සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ද මීට සහාය දක්වති. මෙවන් පසුබිමක කාලාන්තරයකට පසුව මුළු පාර්ලිමේන්තුවම සියලු පක්ෂවලින් සැදුම්ලත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙසින් රැස් වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට හැකි වීම ද රටක් වශයෙන් අප අත්පත් කරගෙන සිටින ජයග්‍රහණයකි. මේ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් කිසිවකුගේ විරුද්ධත්වයක් නොමැත.

මීට අමතරව බලය බෙදීම හා එසේ බෙදනු ලබන බල ඒකකය පළාත් සභා ලෙසින් සැලකීම සම්බන්ධයෙන් ද පොදු එකඟතාවයක් ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කථිකාවත ගොඩ නැඟෙන්නේ කාටත් එකඟ විය හැකි මෙවන් සාධනීය කාරණා සමඟිනි. මේ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මඟින් අනුකමිටු 6ක් ස්ථාපිත කෙරිණි. මූලික අයිතිවාසිකම්, නීතිය හා සාමය, අධිකරණය, රාජ්‍ය මූල්‍ය කටයුතු, රාජ්‍ය සේවය, පාර්ලිමේන්තුවේ සිට පළාත් සභා දක්වා සම්බන්ධීකරණය මේ ආකාරයට අනු කමිටු විෂයයන් වෙන් කර ගෙන තිබිණි. අනුකමිටු සාමාජිකයන් 26ක් සියලු පක්ෂ නියෝජනය කරමින් සාමාජිකත්වය දරා ඇති අතර මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙසින් අගමැතිවරයා කටයුතු කරනු ඇත.

මේ වන විට අනු කමිටු රැස්වීම් වාර 73ක් පවත්වා ඇති බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා සඳහන් කරයි. පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙහෙයුම් මණ්ඩලයේ අතුරු වාර්තාවල සඳහන් වන්නේ ඉහත සඳහන් කාරණා 6ට අදාළ නිර්දේශ හා යෝජනාය.

“මේ වාර්තාවේ ඇතුළත් බොහෝ කාරණා සම්බන්ධයෙන් අපට දේශපාලන පක්ෂවල එකඟතා ලබා ගැනීමට හැකි වුණා. ඊට අමතරව එක් එක් පක්ෂවල හා මෙහෙයුම් කමිටුවේ සාමාජිකයනට මේ වාර්තාවට අමතරව යමක් ප්‍රකාශ කිරීමට තිබේ නම් ඒ සඳහා ද අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජනතා සන්ධානය ඒකාබද්ධ විපක්ෂය තම මත වෙන වෙනම ඉදිරිපත් කර තිබෙනවා.” (ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පා.ම. 01.10.2017 මාධ්‍ය) මෙහි දී ආචාර්ය වික්‍රමරත්න සඳහන් කරන්නේ සෑම කාරණායක් සම්බන්ධයෙන් ම සියලු දෙනාම එකඟ වූ බවක් මින් අදහස් නොවන බවයි.

අනුකමිටු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ම”ඒකීය භාවය”, රාජ්‍යයේ ස්වරූපය, හා බුද්ධගාමට හිමි තැන සම්බන්ධයෙන් රට තුළ විවිධ මතවාදයන්. සාකච්ඡාවට බදු වෙමින් පවතී. එහි වරදක් නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩංගු කාරණා නිවැරදිව තෝරා බේරා ගත හැකි වන්නේ එවිටය. එහෙත් එය සිදු විය යුත්තේ උතුරේ දී හා දකුණේ දී වාර්ගීක හැඟීම් ඇවිස්සෙන ආකාරට නොවේ. අපේ රටේ දේශපාලනයේ දී බොහෝ විට දක්නට ලැබෙන්නේ එවැන්නක් මිස බුද්ධිමය සංවාදයක ස්වරූපයක් නොවේ. නිදහස ලබා වසර 70කට ආසන්න වන නමුත් අපට තවමත් දියුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට නොහැකි වූයේ මේ දේශපාලන අවස්ථාවාදය නිසා ය. 30 අවුරුදු බෙදුම්වාදී යුද්ධයෙන් පසු නැවතත් අලුත් ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා මේ ලැබී තිබෙන අනගි අවස්ථාව මඟ නොහැර කටයුතු කිරීම කාගේත් වගකීමක් වන බව අමුතුවෙන් කිව යුතු නැත. සිදු විය යුත්තේ තමන්ට ආවේණික දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරලීම උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාවාඩයක් කර ගැනීම නොවේ. ඒ වෙනුවට රටට අවශ්‍ය ව්‍යාවස්ථාව සකස් කර ගැනීමට පක්ෂ දේශපාලනයට වඩා ඉදිරියට ගිය දර්ශනයක් හා වැඩපිළිවෙළක් දේශපාලන පක්ෂ විසින් සකස් කර ගැනීමයි. ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආණ්ඩු කිරීම එම වැඩ පිළිවෙළ සැකසීමට පහසුවක් වනු ඇත.

රටට ගැළපෙන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමටවත් නොහැකි නම් ප්‍රධාන පක්ෂ දෙක එකට ආණ්ඩු කිරීමෙන් ඵලක් වන්නේ නැත. ඒ නිසා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ පිළිබඳව විශේෂ උනන්දුවකින් හා කැපවීමකින් කටයුතු කරන බව පෙනේ. අවාසනාව එම කැපවීම හා උනන්දුව පහළට ගලා නොඒමයි. ඒ සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උනන්දුව මෙන් ම එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලීමේ යාන්ත්‍රණයක් සැකසිය යුතුය. එහි යම් යම් අඩු පාඩු තිබෙන බව පෙනේ.

රටේ ‘ඒකීය’ භාවය හා බුද්ධාගමට හිමි තැන පිළිබඳ ප්‍රශ්නය මේ දිනවල දැඩි ලෙස කතා බහට ලක් වේ. මේ පිළිබඳව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අවස්ථා කිහිපයක දීම තම මතය පළ කර තිබේ. එනම් ‘ඒකීය භාවයේ’ හා බුද්ධාගමට ලැබී තිබෙන ප්‍රමුඛස්ථානයේ වෙනසක් නව ව්‍යවස්ථාව මඟින් වුවද කිසිසේත් ම සිදු නොවන බවයි. එහෙත් අනුකමිටුවලට පැමිණ විවිධ පක්ෂවලට වෙනස් වූ මත ඉදිරිපත් කිරීමට අවකාශ තිබේ. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙසින් අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට තහංචි දැමිය නොහැකිය. එවන් තැනක ප්‍රජාතන්ත්‍රවාදයක් හා මානව නිදහසක් ඉතිරි වන්නේ ද නැත.

‘ඒකීය’ සංකල්පය

එහෙත් ජනාධිපතිවරයාගේ ඍජු ස්ථාවරය රටට පැහැදිලිය. ශ්‍රී ලංකාව කිසිසේත් ම ‘ඒකීය’ සංකල්පය වෙනස් වන්නේ නැත. එසේම බුද්ධාගමට තිබෙන අයිතිය පමණක් නොව බුද්ධාගම ප්‍රමුඛත්වයේ ලා සැලකීමට දැනටමත් ව්‍යාවස්ථාව තුළ අන්තර්ගත වී ඇති ප්‍රතිපාදනවල කිසිදු වෙනසක් සිදු නොවේ. සාමාන්‍යයෙන් දැනටත් පළාත් සභාවකට ව්‍යවස්ථාව වෙනස් කිරීමේ බලතල කිසිවක් නොමැත. අලුතින් යෝජනා වෙලා ද නැත. අවශ්‍ය සියලු සංශෝධන සිදු කර හැක්කේ පාර්ලිමේන්තුව හරහා පමණි. එසේ ම මෙවර රටේ ඒකීය භාවය සුරැකෙන තවත් සුවිශේෂ යෝජනාවක් නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කාරණවලට එක් කර තිබේ. එනම් රටේ භෞමික අඛණ්ඩතාවයට හෝ ස්වෛරීභාවයට යම් හානියක් අනතුරක් සිදු වන බවක් පෙනෙනවා නම් පළාත් සභාවේ බලතල පවරා ගැනීමේ හැකියාව නව ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබීමයි. එමෙන් ම අවශ්‍ය නම් පළාත් අමාත්‍ය මණ්ඩලයේ හා ආණ්ඩුකාරයාගේ බලතල වුවද පවරා ගැනීම හා අවශ්‍ය නම් විසුරුවා හැරීමේ බලතල ද නව සංශෝධනවල තිබේ.

තවමත් ගොනු වී තිබෙන්නේ ස්ථිර නොවූ පාර්ලිමේන්තුවේ සංවාදයකින් තොරව සාකච්ඡා මට්ටමෙ පවතින අදහස් හා යෝජනා පමණි. මේවාට විවිධ සංශෝධන එක් වී පවතින යෝජනා වෙනස් වී ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනුමැතියට සැකසෙන ප්‍රධාන යෝජනාව ඉදිරිපත් වීමට නියමිතය. ඊට පෙරාතුව බිල්ලන් මැවීමෙන් සිදු වන්නේ හානියකි. නව ව්‍යවස්ථා සම්බන්ධයෙන් අවිශ්වාසයක් ගොඩනැඟීමකි. සමහරුන්ට අවශ්‍ය වන්නේ එවන් ලාභ දේශපාලනයක යෙදීමට බව පෙනේ. බුද්ධාගම හා රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් මවන බිල්ලාගෙන්ම එය පැහැදිලි වේ. මේ නිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කථිකාවතේ බිල්ලාවාදය පරාජය කිරීම රජයේ වගකීමකි

  • දිනමිණ – වසන්ත ප්‍රිය රාමනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here