පොහොට්ටුව කොලේ ඉරාගනී – මෛත්‍රිගෙන් නොසිතූ ප්‍රහාර මාලාවක්?

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරගැනීම ආරම්භ වූවා පමණි. පෙනෙන්නට තිබෙන්නේ ගේම ආරම්භ වී ඇති බවකි. මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලකුණු රැස්කරන්නට පටන්ගෙන තිබේ. ඒ කිසිවකු නොසිතූ ප්‍රහාර මාලාවකිනි. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් හතර පස් දෙනකු මේ වනවිටත් ජනාධිපතිතුමා හමුවී ශ්‍රීලනිපයට සහාය පළකොට ඇත. වැඩිම නායයාම සිදුවී තිබෙන්නේ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණෙනි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජන පදනමක් ඇති ජයන්ත වීෙජ්සේකර මහතා මුලින්ම ගියේය. පක්ෂයේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක ඇතුළු තිදෙනෙක් සඳුදා ශ්‍රීලනිපයට එක්වූහ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරියද ඉරිදා ශ්‍රීලනිපයට එකතුවිය. දිගාමඬුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇය මහජන එක්සත් පෙරමුණෙන් දේශපාලනයට පිවිස ජයගත් කාන්තාවකි. මේ මොහොතේ ඇය ශ්‍රීලනිපයට එක්වීම ඒකාබද්ධ විපක්ෂයට පසුබැස්මක් බවට සැක නැත.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කීවේ ශ්‍රියානි ශ්‍රීලනිපයට ගියා නොව යැව්වා කියායි. නාමයෝජනා ගැටලු ගැන සාකච්ඡාවක් නොදුන් නිසා ඇය ඒකාබද්ධ විපක්ෂය හැර ගිය බව ගම්මන්පිල කියයි. කෙසේ සිදුවූවත් දැන් එය සිදුවී හමාරය. මේ අතර වෙනත් වාර්තා කියන්නේ ඉදිරියේදී තවත් පිරිසක් ශ්‍රීලනිපයට එක්වන බවය. මැතිවරණ සටන ආරම්භ වන්නටත් පෙර වූ ඉහත කී සිදුවීම් අනුව බලනවිට එම ප්‍රවෘත්තියද සත්‍යවීමට බැරිකමක් නැත.

පසුගිය කාලයේ බොහෝදෙනා බලා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සමඟ සිටින ශ්‍රීලනිපයේ පිරිසක් ඒකාබද්ධ විපක්ෂයට එක්වන තෙක්ය. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් මුලින් කීවේ දහඅටක් එන බවයි. පසුව එය හත අටකට හා හතර පහකට බැස්ස බව පෙනෙන්නට තිබිණි. දෙපැත්තේම කකුල් තියාගත් පිරිසක් ඉන්න බව දැන සිටිය නිසා එලෙස පිරිසක් මහින්ද පිලට යාමට ඉඩ ඇති බව බොහෝ දෙනා කල්පනා කළා විය හැකිය. එසේ වුවද මේ වනතෙක් එවැන්නක් සිදුවී නැත. ඒ වෙනුවට පෙනෙන්නට තිබෙන්නේ යන්නට ඉඩ ඇති බව සිතූ මැති ඇමැතිවරුන්ද පළාත් සභා ඡන්දයට තම ප්‍රදේශවල ශ්‍රීලනිපයේ නාමයෝජනා සකසමින් සිටින බවකි.

ශ්‍රියානි මන්ත්‍රීවරිය ශ්‍රීලනිපයට ගියා නොව යැව්වා යැයි ගම්මන්පිල කියනවිට එහි චෝදනාවන්ද තිබේ. එය එල්ලවන්නේ ඒකාබද්ධ විපක්ෂයේම ප්‍රබලයකුට හෝ කිහිපදෙනකුට බව සිතාගැනීම අපහසු නැත. මෙලෙස එළියට එන්නේද ඇතුළත ගිනි බව පැහැදිලිය.

මේ අතර පසුගියදා මැතිසබයේදී ප්‍රශ්නයක් මතුවූයේ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන ආරක්ෂාව පිළිබඳවය ඔහුට තවත් ආරක්ෂාව වැඩි කළ යුතු බව කීවේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාය. එයට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීවේ මහින්ද රාජපක්ෂ මහතා රැකගැනීම එජාපයට වාසියක් බවයි. ඔහුට ලබාදී තිබෙන ආරක්ෂකයන් 154 ට අමතරව තවත් ලබාදිය හැකි බවද අගමැතිවරයා කීය.

මැතිවරණය තියෙන්නේ පළාත් පාලන ආයතන සඳහා සභිකයන් පත්කර ගැනීමටය. මෙය ආණ්ඩු පෙරළන ඡන්දයක් නොවේ. එසේ වුවද කවුරුත් දන්නා පරිදි මෙය අනාගතයේ ආණ්ඩු බලය සඳහා සටනට පෙළ ගැසෙන අවස්ථාවකි. එම නිසා මෙය කිසිසේත්ම සුළුවෙන් සලකන්නට ප්‍රධාන දේශපාලන පක්ෂ සූදානම් නැති බව පැහැදිලි කාරණයකි.

පැහැදිලිවම අනාගත බලය සඳහා තරග වදින එක් පාර්ශ්වයක් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ප්‍රශ්නය තිබෙන්නේ එයට අභියෝග කරන පාර්ශ්වය සම්බන්ධයෙනි. එම පාර්ශ්වය දෙපිල බෙදී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නැතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙනි. එම බෙදීම පවතින්නේ එම පාර්ශ්වයට අවාසිදායක කාරණයක් ව‍ශයෙනි.

පසුගිය කාලයේ උත්සාහය වූයේ තීරණාත්මක මොහොතේදී දෙපිල සමගි කරන්නටය. ඩිලාන් පෙරේරා ඇමැතිවරයා කල්තබාම කීවේ කොයි පාරෙන් ආවත් එකට ශ්‍රීපාදය වඳින්න නල්ලතන්නියේදී එකතුවන බවයි. පසුගිය දිනවල නොයෙකුත් උත්සාහයන් දැරුවේ දෙපාර්ශ්වය එකතු කරන්නටය. සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා මෙම කපුකම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද ගියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැසිල් රාජපක්ෂ මහතාට ෙපෟද්ගලිකවම කතා කළ බවද වාර්තා විය. කෙසේ වෙතත් දෙපාර්ශ්වය එක්කරන කපුකම මේ වනතෙක් හරිගියේ නැත. දැන් දෙපාර්ශ්වය වෙනම නාමයෝජනා භාරදීමට පටන්ගෙන තිබේ.

එකම ශ්‍රීලනිපය යැයි කීවද මෙම දෙපාර්ශ්වය මේ වනවිට නියෝජනය කරන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන ක්‍රියාමාර්ග දෙකකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යහපාලන ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ක්‍රියාකරන්නේ තම සම්ප්‍රදායික ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතවය. එජාපය යනු ගමේ ශ්‍රීලනිප පාක්ෂිකයා දකින ප්‍රතිවාදී පක්ෂයයි. මහින්ද රාජපක්ෂ කණ්ඩායම කළේ මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන විපක්ෂ දේශපාලනයක් ගොඩනගා ගැනීමයි.

මැතිවරණයේදී වඩා අමාරු කාර්යය තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ශ්‍රීලනිපයටයි. එක අතකින් තම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ආරක්ෂා කිරීමට මෙම කණ්ඩායමට සිදුවන අතරම තමන් සමඟ සන්ධානගතව සිටින එජාපයට එරෙහිව ඡන්ද සටන කළ යුතුව ඇත. එය සංකීර්ණ තත්ත්වයකි. අනෙක් අතට එජාපයටද සිදුව තිබෙන්නේ ආණ්ඩුව රකින ගමන් තම හවුල්කරු සමඟ සටන් වදින්නටය. එයද සංකීර්ණ කටයුත්තකි.

මහින්ද පිලට තිබෙන්නේ ආණ්ඩු විරෝධී බලවේග ගොනුකර ගන්නටය. එය සාපේක්ෂව පහසු කටයුත්තකි. එසේ වුවද ආණ්ඩුව ගැන තිබෙන විරෝධය හෝ කලකිරීම හෝ තමන් වටා ගොනු කරන්නට මහින්ද පිලට තිබෙන ශක්තිය සීමාසහිතය. ඔවුන් සමඟ තවමත් සිටින්නේ වසර දෙකකට පෙර ප්‍රතික්ෂේප වූ පිරිසයි. යුද ජයග්‍රහණය ගැන කතා කරනවා ඇරෙන්නට නව සටන්පාඨ ඔවුන් සතුව නැත. මෙම පිරිසට ආණ්ඩුවේ දූෂණ ගැන කතා කර ජනතාව දිනාගන්නට හැකියාවක් නැත්තේ ඔවුන්ගේ කැරැට්ටුව ජනතාව ඊට වඩා හොඳින් දන්නා නිසාය.

මේ විපක්ෂයට යන්තම් හෝ යැපෙන්නට තිබෙන්නේ ජීවන වියදම් ප්‍රශ්නයයි. එක දිගට කන්න තුනක් වගා හානිවීම නිසා ඇතැම් ප්‍රදේශවල ඇතිවී තිබෙන තත්ත්වය බරපතළය. එසේ වුවද ඔවුනට සහනාධාර දීමට ‍හා අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. එබැවින් එම සටන් පාඨවලින්ද එතරම් වාසියක් අත්කර ගන්නට විපක්ෂයට හැකියාව ලැබෙන්නේ නැත.

එමෙන්ම ආණ්ඩු බලය තීරණය නොවන ඡන්දයක් වීම නිසා ජනතාවගේ වැඩි නැඹුරුවක් ඇත්තේ බලයේ සිටින පක්ෂවලට පළාත් පාලන ආයතනවල බලයද ලබාදීම විය හැකිය. එහි වාසිය එජාපයට මෙන්ම මෛත්‍රී පිලටද හිමිවීමට ඉඩ ඇත.

මෙම මැතිවරණයේ තවත් විශේෂයක් වන්නේ ඡන්ද කොට්ඨාස ක්‍රමයක් ක්‍රියාත්මක වීමය. එහිදී එම ප්‍රදේශවල ජනප්‍රිය පුද්ගලයන් ඉදිරිපත් කිරීම මගින්ද වාසි ලැබීමේ හැකියාව ඇත. කුඩා පක්ෂවලට මෙන්ම ස්වාධීන කණ්ඩායම්වලටද ඉන් වාසි ලබාගැනීමට හැකිවනු ඇත.

පළාත් පාලන ඡන්දයක් වුවද මෙහි දේශපාලනයේ ප්‍රධාන අරගලය තීරණය වන්නේ ප්‍රධාන පක්ෂවල නායක කාරකාදීන් හා ක්‍රියාකාරීන් මෙම ඡන්දය දෙස බලන ආකාරයයි. ඒ බොහෝ දෙනකුට අනුව මෙය 2020 හා ඉන් පසුව මෙරට දේශපාලන බලය ලබා ගැනීම සඳහා කෙරෙන දිගු සටනක ආරම්භයයි. මෙම මැතිවරණයේ ලබන ජයග්‍රහණයේ ප්‍රමාණය මත මින් පසුව පැවැත්වෙන පළාත් සභා මැතිවරණවල ප්‍රතිඵලයද 2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයක හෝ මහ මැතිවරණයක හෝ ප්‍රතිඵලයද තීරණය වන බව එබඳු බොහෝදෙනාගේ ගණන් බැලීමයි. අද ඔවුන් දේශපාලන තීන්දු තීරණ ගන්නේ ඒ අනුවය.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයට ඇති අභියෝගය පැහැදිලිය. ඔවුනට තිබෙන්නේ මෙම මැතිවරණයෙන් උපරිම ජයග්‍රහණයක් ලබාගෙන ඉදිරි මැතිවරණ සඳහා හොඳ පදනමක් දමා ගැනීමටයි. ඉදිරි ජයග්‍රහණ තීරණය වන්නේ මෙයින් ලබන ජයග්‍රහණයේ ප්‍රමාණය මතයි. ඉහළ ජයග්‍රහණයක් පෙන්නුම් කළහොත් රටේ අනාගත නායකත්වය පිළිබඳ පණිවුඩයක් රටට දිය හැකිය. එජාපය කැපවනු ඇත්තේ එම තත්ත්වය ඇති කර ගැනීමට බවට සැක නැත. එහිදී ඔවුන්ගේ ගේම් ප්ලෑන් ගැන බොහෝ දුර හිතන්නට දෙයක් නැත.

මෛත්‍රීපාල සිරිසේන මහතාටද මෙම මැතිවරණයේ ප්‍රතිඵලය අතිශයින් වැදගත්ය. 2020 පසුවද ශ්‍රීලනිපය තනිව හෝ හවුලකින් හෝ බලයේ තබාගැනීමට ඔහුට අවශ්‍ය බව පෙනෙන්නට තිබේ. එසේ වුවද ප්‍රශ්නය තිබෙන්නේ මහින්ද පිල ඡන්ද කඩද්දී විශාල ඡන්ද පදනමක් තමන් සතුකර ගැනීමේ අභියෝගය ජයගැනීමයි.

අනෙක් අතට මහින්ද පිල මෙම මැතිවරණයේදී උත්සාහ දරනු ඇත්තේ හැකි සෑමදෙනකුම උපරිම බලය පෙන්වන්නටය. ඔවුන්ගේ පළමු ඉලක්කය වන්නේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අභිභවා යාමයි. හැකිතාක් ඉහළ ජයග්‍රහණයක් ලබාගැනීම දෙවන ඉලක්කයයි. මොවුන් අතර ඇතැමෙක් සිතන්නේ තමන්ට පහසු ජයග්‍රහණයක් ඇති බව යැයි පෙනෙන්නට තිබේ. එය බොහෝවිට රැස්වීම්වල සිටින සෙනග දෙස බලා ගත්ත තීන්දුවකි. එසේ වුවද අතීත අත්දැකීම නම් එබඳු ගණන් බැලීම් මිරිඟු බවට පත්වන බවයි.

1982 ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා වටා රොක්වූ ජනතාව දුටු විජය කුමාරතුංග මහතා වැනි නායකයින් සිතුවේ ජයග්‍රහණය තමන් සතු බවයි. එහෙත් යථාර්ථය එය නොවීය. ජේ. ආර්. ජයවර්ධන මහතාද කීවේ තමා දිනන බව කොබ්බෑකඩුව මහතා සිතීම පුදුමයක් නොවන බවයි.

එම ජනාධිපතිවරණයේදීම ජවිපෙ ගණන් බලා තිබුණේ තම නායක‍ රෝහණ විජේවීරයන්ට අඩුතරමේ ඡන්ද ලක්ෂ දහයක් ලැබෙන බවටයි. එහෙත් එසේ වූයේ නැත. එයින් පක්ෂය තුළ ඇති වූයේ බරපතළ අර්බුදයකි. පිරිසක් පක්ෂයෙන් ඉවත්ව ගියහ. මාස කිහිපයක් පක්ෂය අක්‍රීය තත්ත්වයට පත්වූ බව කියති.

මේ මොහොතේදී ඒකාබද්ධ විපක්ෂය අර්බුදයට යන්නේ නම් එයට හේතුව වන්නේ 2020 දී හෝ මෑත අනාගතයේ හෝ දේශපාලන බලය ගන්නට සැලැස්මක් ඔවුන් සතුව නොවීමයි. ‍ෙම් මොහොතේ බලය පෙන්වීම හා බලය වර්ධනය කරගැනීම පමණක් අරමුණුකොට ක්‍රියාකිරීමයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධවීමට පෙර අනුරාධපුරයේදී පුවත්පත් සාකච්ඡාවක් තබා වීරකුමාර දිසානායක මහතා කීවේ මේ කතාවයි. ඔහු කීවේ මේ මොහොතේ ශ්‍රීලනිපය සමගි ‍නොවන්නේ නම් 2020 ජනාධිපති වන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බවයි. ඔහු හා ජානිපෙ අනෙක් නායකයින් තීරණය කළ බව පෙනෙන්නට තිබෙන්නේ මේ මොහොතේ කළ යුතු වන්නේ ජනාධිපතිතුමා වඩා ශක්තිමත් කිරීම බවයි.

අනෙක් අතට තමන්ගේම අරමුණු අනුව ආණ්ඩු බලයක් ඉක්මනින් ගොඩනගාගත නොහැකි නම් තිබෙන බලයට සම්බන්ධවීමද ඇතැම් දේශපාලනඥයන් තෝරාගන්නා විකල්පයකි. මෙහිදී සිදුවූයේද එවැන්නක් යැයි කීමටද බැරිකමක් නැත.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රශ්නය හඳුනාගෙන ක්‍රියාකරන බව පෙනෙන්නට ඇතත් මහින්ද රාජපක්ෂ මහතා එක්කෝ ප්‍රශ්නය හඳුනාගෙන නැත. නැතිනම් එයට ඔහුට පිළිතුරක් නැත. ඇතැම්විට ඔහු තම ශක්තිය ගැන අධි තක්සේරුවකින් කටයුතු කරනවාද විය හැකිය.

කෙසේ වෙතත් ඌරන් කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මගුල් කියා කතාවක් ගැමි ව්‍යවහාරයේ ඇත.

අද දේශපාලනයේද සිදුවන්නේ එවැන්නකි. ශ්‍රීලනිපය දෙකඩ වෙද්දි රජ මගුල් කන්නේ එක්සත් ජාතික පක්ෂය බවට සැකයක් නැත. එය කාටත් හොඳින් පෙනෙන කාරණයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here