පුජිතගේ පොලිසිය නීතිය නමන හැටිය මෙන්න

ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදීයෙකු වන විමුක්ති දුශාන්තට අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි තර්ජනය කිරීම සම්බන්ධව මහරගම පොලිසියට පැමිණිලි කර දින 18 කට ආසන්න කාලයක් ගතවී ඇතත් තවමත් ඒ සම්බන්ධ විභාගයක් සිදුව නැති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව අප වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදී විමුක්ති දුශාන්ත සඳහන් කර සිටියේ සිදුකළ පැමිණිල්ලට අදාළ වැඩිදුර කටයුතු පිළිබඳ තමන් මහරගම පොලිසියෙන් විමසීමක් කළත් අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි විදෙස්ගතව සිටීම නිසා පැමිණිල්ල වැඩිදුර විභාග කිරීමට නොහැකිව ඇති බව දැනුම්දුන් බවය.

එසේම අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානියාගේ ලිපිනය ලබාදෙන ලෙස මහරගම පොලිසිය ඉල්ලීමක් කළ බවත් තමන් එයද පොලිසියට ලබාදුන් බව විමුක්ති සඳහන් කර සිටියි.

එසේම වැඩිදුරටත් අප සමඟ අදහස් දැක්වූ විමුක්ති මෙසේද පැවසීය.

“පොලිසිය කිව්ව විදිහට තුෂාර රට ගිය බව දැනුම්දීලා තියෙන්නෙ ඔහු රාජකාරි කරන කාර්යාලයෙන්. ඇත්තටම ඔහු මුහුණු පොතේ ඒ විදිහෙ සටහනක් තබා තිබුණා. නමුත් රට ගිය කෙනා මෙන්න ටිකකින් ස්ටේටස් අප්ඩේට් කරනවා ගංගාරාමය අසළ ඉන්න බවට. ඒ කියන්නෙ අමු බොරුවක් කියලා තියෙන්නෙ. පොලිසිය ඉන්නෙ බොරු අහලා ඒවා විශ්වාස කරලා ඔහේ ඉන්න නම්, සාමාන්‍ය මිනිහෙක් මොකද කරන්නේ. මොකද ඉතා පැහැදිළිව පොලිසිය තුශාරව කැඳවන්නේ නැත්තේ ඔහුගේ ධුරය නිසා”

මාධ්‍යවේදී විමුක්ති දුශාන්ත වෙත අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි තර්ජනය කිරීමට පාදක වන හේතුව වන්නේ පසුගියදා වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති සාදයක් අතර තුර අග්‍රාමාත්‍ය සමාජ ජාලා ප්‍රධානි වන තුෂාර ඩී. වන්නිආරච්චි ඇතිකරගත් කළබගෑනියක් සම්බන්ධව විමුක්ති දුශාන්ත සිය මුහුණු පොතේ කෙටි සටහනක් තැබීමය.

ඒ පිළිබඳ අප මීට පෙර වාර්තා කළ අතර ඒ බව පහත සබැඳියාවෙන් කියවාගන්නට හැකියාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here