දකුණු කොරියානු – ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය නව මානයකට රැගෙන යාමට කැපවන බවට දෙරටේ නායකයින් සපථ වෙති.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දකුණු කොරියානු රාජ්‍ය සංචාරය දෙරට අතර මිත‍්‍රත්වය හා සහයෝගීතාවය ඉහළ නංවන කීර්තිමත් පරිච්ඡේදයක ආරම්භයක් බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතා පවසයි.

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා සහ එම මැතිණිය විසින් පිරිනමන ලද විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය ඊයේ (29) පස්වරුවේ Blue House ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදි දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග තිබෙන සමීප සබදතාවය පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වූ දකුණු කොරියානු ජනාධිපතිවරයා දෙරටේ අභිවෘද්ධිය හා සංවර්ධනය උදෙසා වූ සහයෝගීතාවය ඉදිරියට ගෙනයාමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

එමෙන්ම දෙරට අතර මිත‍්‍රත්වය සහ සහයෝගීතාවය නව මානයකට රැගෙන යාමට කැපවන බවට ද නායකයින් සපථ වූහ.

දකුණු කොරියාව හා ශ‍්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබදතාවලට 40 වසරක් සම්පූර්ණවීම සැමරීම ද මෙහිදී සිදු වූ අතර දෙරටේ රාජ්‍ය නායකයින් එක්ව කේක් කපා එම අභිමානවත් මිත‍්‍රත්වය සමරන ලදී.

රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට පෙර කොරියානු ගායක ගායිකාවන් සහ කොරියානු දරු දැරියන් එක්ව සිංහල ගීත ගායනා කරමින් පැවැත්වූ සංස්කෘතික ප‍්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්වූ අතර විචිත‍්‍රවත් නැටුම් ගැයුම් වලින් ද ප‍්‍රසංගය වර්ණවත් විය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරාළ, මලික් සමරවික‍්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ශ‍්‍රි ලංකා දුත පිරිස එක්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here