ජනපතිගේ තෙවර්ෂ පූර්ණය අදයි..! කරපු වැඩ මෙන්න

ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපතිවරයා ලෙස බලයට පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලයේ තෙවර්ෂ පූර්ණය අදට (8) යෙදී ඇත.

ඉකුත් 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේද සහය මත සම්මුතිවාදී ආණ්ඩුව පිහිටුවීය.

තමාගේ ධුර කාලයේ ගෙවුණු වසර තුනක කාලය තුළ දූෂණය, නාස්තියට තිත තැබිමේ ප්‍රයත්නයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දහනව වන ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු රටේ අනාගතය උදෙසා යහපත් තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කළේය.

තමා ජනාධිපතිධුරයට පත්වීම පදවි ප්‍රාප්තියක් ලෙස සලකා කටයුතු නොකරන ලෙස උපදෙස් දී ඇති ඒ මහතා අද 8 දිනයේ ජනතාවට වැදගත් වන්නා වූ ප්‍රධාන උත්සව ත්‍රිත්වයකට සහභාගි වීමට නියමිතය.

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ජන්ම දිනය වන අද (8) දිනයේ කොළඹ ගෝල්ෆේස්හි පිහිටි බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුව වෙත පුෂ්‍පෝපහාර දැක්වීමට ජනාධිපතිවරයා අද (8) පෙරවරුවේ සහභාගි වේ.

අනතුරුව, අභිනවයෙන් ඉදිකළ රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට පත් කරන ජනාධිපතිවරයා, මොරගහකන්ද ජලාශය ජනතා අයිතියට පත්කිරීම සඳහා ඉන්පසුව සහභාගි වේ.

දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය ලෙස සැලකේ.

මීට දශක හතරකට පෙර ජනවාරි 8 වනදාවක ‍පොල්ගොල්ලෙන් ඇරඹි යෝධ මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ සමාප්තිය සනිටුහන් කෙරෙන සාලිස් වසරක මහවැලි අසිරිය ජාතික මහෝත්සවයද අද (8) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ 15කට සෙත සලසන මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය තුළ ඉදිවූ සුවිශේෂීතම ව්‍යාපෘතිය ලෙස ඉතිහාසගතවනු ඇත.

පානුක රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here