ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධූරය අහෝසියි..! පියසේන ගමගේ ඇතුලට: ඒකාබද්ධයට එකක් අඩුවේ මෛත්‍රීට එකක් වැඩිවේ

රාජපක්ෂගේ ඒකාබද්ධ කල්ලියේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධූරය අහෝසි කරමින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට අයිතියක් නැතැයි අභියාචනාධිකරණය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර තීන්දු කෙළේය.

ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකු විය නොහැකි බවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ නීතිය උල්ලංඝනය කරමින් ඇය ස්විට්සර්ලන්තයේ සහ ලංකාවේ පුරවැසි භාවයන් සහිත ද්විත්ව පුරවැසි භාවයක් තිබියදී පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කර තිබිණ. මේ බව හෙළි වීමෙන් පසු අභියාචනාධිකරණයට ඒ ගැන පෙත්සමක් ඉදිරිපත් කරන ලද අතර එය විභාගයට ගත් අභියාචනාධිකරණය අද තීන්දුව ප්‍රකාශයට පත් කෙළේය.

පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය ස්විට්සර්ලන්ත පුරවැසි භාවය ඉවත් කර ගත් නමුත් ඇය ඡන්දය ඉල්ලන අවස්ථාවේදී ද්විත්ව පුරවැසියෙක් වීම නිසා ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි විය.

ගීතා පාර්ලිමේන්තුවට පත් වූයේ ප්‍රථම වරට ය. ඇය මනාප 63,955 ක් ලබා ගෙන තිබිණ. නීතිය අනුව දැන් ඇයගේ පුරප්පාඩුවට පත් වන්නේ ඊලඟට මනාප ලබා ගෙන සිටින පියසේන ගමගේ මහතා ය. ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 47,247කි. පියසේන ගමගේ මහතා මෛත්‍රී පාක්ෂිකයෙකි. ඒ අනුව ඒකාබද්ධයට තවත් මන්ත්‍රීධූරයක් අඩු විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here