කාන්තා කොල්ල කල්ලියක් කොළඹට බැහැලා – වැඩ වැරදුණු තිදෙනෙක් සියල්ල වමාරයි..!

උත්සව සමයේ පිටකොටුව නගරයේ ඇඳුම් පැලඳුම් තෝරන සහ බස්‌ රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි, රන්මාල සොරාගන්නා සහ කොල්ලකන කාන්තා කොල්ල කල්ලියක් කොළඹට පැමිණ ඇති බව පවසන පිටකොටුව පොලිසිය ඒ පිළිබඳව කල්පනාකාරී වන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනටමත් මෙම කාන්තා කොල්ල කල්ලියේ තිදෙනකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇතැයිද පිටකොටුව පොලිසිය කියයි.

අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන මෙම කාන්තා කොල්ල කල්ලියේ සාමාජිකාවන් 30 දෙනකු පමණ සිටින අතර, ඔවුන් විවිධ ආකාරයෙන් ඇඳ පැළඳගෙන කණ්‌ඩායම් වශයෙන් බෙදීගොස්‌ මෙම අපරාධයන් සිදුකරන බව හෙළිවී ඇත.

මොවුන්ගෙන් කොටසක්‌ පිටකොටුවේ සාරි, ඇඳුම් ඉතාම ලාබෙට අලෙවි කරන ස්‌ථානවල සෙනඟ වැඩිවශයෙන් ගැවසෙන ස්‌ථානවලට ගොස්‌ තෙරපෙමින් කාන්තාවන්ගේ මුදල් පසුම්බි මීට පෙර සොරාගෙන ඇතැයිද වාර්තාවේ.

තවත් පිරිසක්‌ ඩෙනිම් කලිසම් හා ටී ෂර්ට්‌ ඇඳපැලඳගෙන මගීන් වැඩි වශයෙන් ගමන් ගන්නා බස්‌ රථ වලට ගොඩවී පිරිමි පුද්ගලයන්ට හේත්තු වී ඔවුන් සතු මුදල් පසුම්බි සොරාගන්නා බව පොලීසිය කියයි.

තවත් පිරිසක්‌ කුඩා දරුවන් වඩාගෙන සෙනඟ ගැවසෙන තැන්වලට ගොස්‌ කුඩා දරුවන්ගේ පංචායුධ, රන්මාල කඩාගෙන ගොස්‌ ඇතැයිද වාර්තාවේ.

මේ අතර මෙම උත්සව සමයේ දෙසැම්බර් දින 16 තුළ පිටකොටුව ප්‍රදේශයේ විවිධ අපරාධ සිදුකළ සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවටගෙන ඇතැයි පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here