ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරලා ජීවිතේ ඉතිරි කාලය ගෙනියනවා – සුසන්තිකා ජයසිංහ

සුසන්තිකා ජයසිංහ යනු කවුදැයි හඳුන්වා දීමට අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනි ලිවිය යුතු නැත. “ආසියාවේ කළු වෙළඹ” යැයි විරුදාවලි ලත් ඇය ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූයේ ලෝක සිතියමේ අබැටක් තරම් වූ නයන පිනවන මේ රන් දිවයිනට ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදයක් මෙන්ම ගෞරවයක්ද නිර්මාණය කර දෙමිනි. කෙටි දුර ධාවන ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ආසියාතික ක්‍රීඩිකාව සුසන්තිකාම වීම පුරවැසි සකල ජනයාට ද ගෞරවයක්ම වේ.
ඒ සුසන්තිකා ජයසිංහ “ඉරිදා ලංකාදීපය” සමග සංවාදගත වූයේ එක් සුවිශේෂි තීරණයක් රට හමුවේ තැබීමටය.
ඒ තීරණය කීමට අපි සුසන්තිකාට ඉඩ දෙමු. විනිශ්චය ඔබ සතුය.

 

ප්‍රශ්නය:- මේ දවස්වල මොකද කරන්නේ?
පිළිතුර:-
මේ දවස්වල පුහුණුකාරියක ලෙස සේවය කරනවා. වෙන විශේෂ දෙයක් නෑ. දරුවෝ දෙන්නගෙ වැඩත් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා.
ප්‍රශ්නය:- දැන් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධයක් නැද්ද?
පිළිතුර:-
මම ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක් විදියට වැඩ කළානේ. නමුත් 2015 ජනවාරි ආණ්ඩු පෙරැළියත් එක්ක ඒ රස්සාව මට නැති වුණා.
ප්‍රශ්නය:- රස්සාව නැති වුණා ද? නැති කළාද?
පිළිතුර:-
මම හිතන්නේ නැති කළා. ඒ එක්කම මට ලැබිච්ච සියලු පහසුකම්, දීමනාත් අහිමි වුණා.
ප්‍රශ්නය:- මොනවද ඒ ආණ්ඩුවෙන් ලැබුණු පහසුකම්?
පිළිතුර:-
මට කාර් එකක් දීලා තිබුණා රියදුරෙක් හිටියා. මාසිකව රුපියල් 80,000ක වැටුපක් ලැබුණා. ඒවා මට ලැබුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියටත්, ජනාධිපති සම්බන්ධිකරණ නිලධාරිණියක් හැටියටත් කළ සේවයටයි.
ප්‍රශ්නය:- ඔබට ඒවා අහිමි වෙන්නේ?
පිළිතුර:-
රජය මාරු වීමත් එක්ක තමයි. ඊට අවුරුද්දකට විතර පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියට මට නැවත පත්වීමක් ලැබුණා.
ප්‍රශ්නය:- පරණ වරප්‍රසාද, දීමනා ලැබුණාද?
පිළිතුර:-
නෑ. ඒ මොකවත්වත් නෑ. 2020 දක්වා කැබිනට් අනුමැතිය සහිතව මාව ක්‍රීඩා උපදේශිකාවක් විදියට බඳවා ගත්තා. ඒ වෙනුවෙන් මට මාසෙට රුපියල් 60,000 ක් විතරයි ලැබුණේ.
ප්‍රශ්නය:- ඒත් ඔබ බාර ගත්තා?
පිළිතුර:-
ඔව්. මට අවුරුද්දෙ මුල මැද අග කියලා නෑ. ක්‍රීඩා උපදේශිකාවක් විදියටත් නොවෙයි ඔලිම්පික් පදක්කමක් දිනා ගත්ත එකම ක්‍රීඩිකාව විදියට රට පුරා ආරාධනා එනවා. විවිධ උත්සවවලට යන්න වෙනවා. එහෙම වුණාම මම හරි අසරණයි. මෙච්චර කාලයක් රටක් විදියට මාව බලාගත්තා. හැමදේම කළා. නමුත් දැන් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එහෙම ජීවත් වෙනකොට ඇත්තටම මට එදා කිව්වේ ජාතික වස්තුවක් කියලයි. ආසියාවෙම ගත්තොත්, ඉන්දියාව, චීනය, ජපානය වගේ රටකටවත් නෑ කෙටිදුර ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක්. ඇත්තටම මේක කිව යුතු දෙයක් නොවෙයි. ඔය මගේ ඇත්ත තත්ත්වය. ඇත්තටම ඒක හපන්කමක්. නමුත් මේ ක්‍රීඩා බලධාරින් මේ රටේ දරුවන්ට කිව්වේ නෑ. ගමෙන් කොස් දෙල් කාලා ආපු සුසන්තිකා ආසියාවේ කිසිම ක්‍රීඩිකාවකට කරන්න බැරි වෙච්ච දේ කළා කියලා. ඉතිහාසය තුළ ආසියාවේ කිසිම ක්‍රීඩිකාවක් කෙටි දුර ඉසව්වකින් ඔලිම්පික් පදක්කමක් දිනලා නෑ. ඒ අභිමානය මට තියෙනවා.
ප්‍රශ්නය:- ඒ අභිමානය තියෙද්දී ඇයි ඔබ දේශපාලනයට ගියේ ?
පිළිතුර:-
ගොඩක් දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය ඇහුවා. මට එහෙම අවබෝධයක් දැනීමක් නැති වුණත් මට හිතුණා රට යන පැත්තට මිසක් අපි යන පැත්තට රට එන්නේ නැහැ කියලා. මට එහෙම තේරුණා. පැත්තකට වෙලා හිටියොත් අපට කවදාවත් මොකුත්ම කරන්න වෙන්නේ නැහැ කියලා මට තේරුණා. පවතින රජයත් එක්ක යා යුතුයි කියලා තේරුම් ගත්ත නිසා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග සම්බන්ධ වුණේ. ඒ ක්‍රීඩාවට යමක් කරන්නයි.
ප්‍රශ්නය:- ඒ කියන්නේ දේශපාලන පත්වීමක් නෑ?
පිළිතුර:-
මගේ පක්ෂය කාන්තා පක්ෂයයි. නමුත් ඒ වෙලාවෙ දී මම තීරණය කළා අපේ රාජ්‍ය නායකයාට උදව් කරලා ක්‍රීඩාවට සේවයක් කරන්න අවස්ථාවක් ලබා ගත යුතුයි කියලා. මේ රටේ යම්කිසි සහයෝගයක් ගන්න පුළුවන් වෙන්නේ නායකයත් එක්ක ගියොත් තමයි. ඒ නිසයි මම දේශපාලනයට සම්බන්ධ වුණේ.

ප්‍රශ්නය:- ඒ වෙනුවෙන් ලැබුණු දෙයක් තියෙනව ද?
පිළිතුර:-
ලැබුණ දෙයක් කියන්නේ… එකම ඔලිම්පික් පදක්කම්ලාභී ක්‍රීඩිකාව වුණත් මට රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකක්වත් ලබා දීලා නෑ. මම මේ රටට ඇත්තටම ගේන්න පුළුවන් ඉහළම ජයග්‍රහණය, ගෞරවය ගෙනාවා. මම මෙහෙම කතා කරන්න ඕන නෑ. මම මගේ රටට ආදරෙයි. මම දරුවන් දෙන්නෙක් හැදුවා. මං ගොඩාක් දේවල් හොයා ගත්තා. මම ලස්සන ගෙයක් හැදුවා. මම නැති කරගෙන ලැබිච්ච දේවල් විනාශ කරගන්න කෙනෙක් නෙවෙයි. මගේ අම්මා තාත්තා අදටත් රැකෙන්නේ මගෙන්. මගේ පවුලේ සහෝදරියෝ හතර දෙනෙක් හිටියා. එයින් අක්කලා දෙන්නෙක් දැන් ජීවතුන් අතර නෑ. අවුරුදු තුනක් වෙනවා එක අක්කා කෙනෙක් නැති වෙලා. එයා නැති වුණේ පිළිකාවකින්. දෙවැනි අක්කා දියවැඩියා රෝගයෙන් මිය ගිහින් මාස එක හමාරයි. පවුලේ කෙනෙක් හැටියට මට අහක බලන්න බෑ. මම ඒ වෙනුවෙනුත් කැප වුණා. මම ගෙදර අයත් එක්ක හැමදාම ජීවත් වුණේ.
ප්‍රශ්නය:- විවාහය දෙදරන්නත් ඒක හේතුවක් වුණා.
පිළිතුර:-
ඔව්. ඇත්ත වශයෙන්ම තාම අපි දෙන්නා නීතියට අනුව වෙන් නොවුණත් අපි දෙපැත්තක තමයි ජීවත් වෙන්නේ. මට ඒ නිසා නොයෙක් නින්දා අපහාස විඳින්නත් වුණා. ඒක මට විතරක් උරුම දෙයක් නොවේ කියලා මම හිතනවා. මට කවදාවත් මගේ මාපියො සහෝදරියො අත හරින්න බෑ. දරුවෝ දෙන්නගෙ බරත් කරට අරගෙන මම ජීවත් වෙද්දී තමයි ආණ්ඩුව පෙරළුණේ. ඊට පස්සේ නායකයා වෙනස් වුණා. ඒ එක්ක මම අසරණ වුණා.
ප්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක්ක වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයත් එක්කත් සම්බන්ධ වෙන්න තිබුණානේ.
පිළිතුර:-
ක්‍රීඩාව වෙනුවෙන් මට ඒ දේ කරන්න බැරි නෑ. මට ආරාධනා කරපු හැම දෙයකටම මම සම්බන්ධ වුණා. එදා වුණත් මම බලෙන් ගියේ නෑ. මට හරි පිළිගැනීමක්, තැනක් තිබුණා. මම ඒකත් එක්ක තමයි කටයුතු කළේ. දේශපාලනයේ ඇළිලා කරන්න ඕන කියන තැන මම නෑ. ඉතින් ඒ දෙයත් එක්ක මම දන්නා මට පෞද්ගලිකව ජීවත් වෙන්න පුළුවන්. නමුත් මගේ වියහියදම් එක්ක බැලූ විට මං රැකියාවක් කළ යුතුයි කියලා මට හිතෙනවා.
ප්‍රශ්නය:- ඔබ කිව්වා මේ ආණ්ඩුව යටතෙත් රුපියල් 60,000 ක දීමනාවක් සමග ජොබ් එකක් ලැබුණා කියලා.
පිළිතුර:-
ඔව්, ඒක ලැබුණා. මට විශාල වගකීමක් එක්ක තමයි ඒ පත්වීම ලැබුණේ. ආධුනික ක්‍රීඩකයන් වගේම ජාතික තලයේ පුහුණු සංචිතය මට බාර වුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිතය හැටියට. ඒ වගේම ක්‍රීඩා ඇමැතිතුමාගේ ක්‍රීඩා උත්සව තියෙනවා නම් ක්‍රීඩාවේ උන්නතියට සංවර්ධනයට අවශ්‍ය උපදෙස් දෙන්න. ඒ විතරක් නොවෙයි. සමහර වෙලාවට ක්‍රීඩා වැඩසටහන්වලට සම්බන්ධ වෙලා වැඩ කරන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. පිට්ටනියේ දී පවා හැම දෙයක්ම බලන්නේ හදන්නේ මම. ඇමැතිතුමා පත්වීම දෙන දවසෙම කිව්වා. “සුසන්තිකාට මේ ඩියුටිය බාර දෙන්න. විශේෂයෙන්ම එයාට ඉන්න තැනක් ලෑස්ති කරලා දෙන්න.” කියලා.
ප්‍රශ්නය:- නමුත් ඒවා වුණේ නෑ ?
පිළිතුර:-
ඔව්, කියන්න කනගාටුයි. ඇමැතිවරයාගේ උපදේශිකාවක් වුණත් නැතත් මේ රටට මේ ආසියාවට ඔලිම්පික් පදක්කමක් ගෙනාපු මේ සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යාශයේ කාමරයක්. අඩු ගාණේ ගාර්ඞ් රූම් එක ළඟ පුංචි කාමරයක්වත් නැද්ද දෙන්න. ඔබ මේ ඉන්ටවිව් එක ගන්න ආවේ මගේ ගෙදරට. මට පුංචි කාමරයක් හරි තිබුණා නම් එතෙනට එන්න තිබුණානේ. මට පෑනක් ෆයිල් කවරයක් තියාගන්න මේස කෑල්ලක්වත් නෑ.
ප්‍රශ්නය:- නමුත් පඩිය ලැබෙනවා?
පිළිතුර:-
ඒක තමයි අලුත්ම තත්ත්වය. මගෙ ගිය මාසේ අප්‍රේල් මාසයේ ඉඳන් මගේ පඩිය නවත්තලා.
ප්‍රශ්නය:- ඒකට හේතුව?
පිළිතුර:-
ඒකට හේතුව තමයි මම මේක කෙළින් කියන්න ඕනෑ. මම කෙළින් කතා කරන කෙනෙක්. මට හොඳ කොන්දක් තියෙනවා. මට හොඳ ජවයක් තියෙනවා. එදා සිරසේ තිබුණා “ප්ලැටිනම් එවෝඞ් සෙරමනි” එක. ඒකෙදි ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන සම්මානයක් මට ලැබුණා. ඒ සම්මාන උළෙලෙ දී මට අදහසක් ප්‍රකාශ කරන්න කිව්වා.
ප්‍රශ්නය:- ඔබ මොකක්ද කිව්වේ?
පිළිතුර:-
ඊට කලින් මම කිව යුතුයි. මම ඒ ප්‍රකාශය කළේ මගේ තනතුරත් එක්කයි. මම කිව්වේ “රටක අවශ්‍යතාව වෙනුවෙන් දියුණුව, උන්නතිය වෙනුවෙන් කළ යුතු දෙයක් මේ මාධ්‍ය ආයතනය කරලා තියෙන්නේ. ඒකට මම අතිශයින්ම ගෞරවය කරනවා කියලා.
ප්‍රශ්නය:- ඔබට එහෙම කියන්න විශේෂ හේතුවක් තිබුණා ද?
පිළිතුර:-
ඔලිම්පික පදක්කමක් දිනපු මම හුඟාක් වෙලාවට මම කියන්නේ කොහොමද කෙනෙකුට ක්‍රීඩකයෙක් වෙන්න. ක්‍රීඩිකාවක් වෙන්න කියලා. ඇත්තටම ක්‍රීඩකයෙක් වෙලා ක්‍රීඩිකාවක් වෙලා ජීවත්වෙන්න බැරි නම් මොකද මම අවුරුදු උත්සවයේ ඉඳලා ඔලිම්පික් දක්වා දුවලා ඔලිම්පික් පදක්කමක් දිනපු ක්‍රීඩිකාවක්. ඒ මම දැන් ක්‍රීඩාවෙන් සමු අරගෙන අවුරුදු 9 යි. ඔලිම්පික් පදක්කම අරගෙන අවුරුදු 17ක්. ඒ මම අද ඉන්න තැන ගත්තොත් මටම කනගාටුයි. එහෙම බැලුවම මම කොහොමද තවත් කෙනෙකුට කියන්නේ ක්‍රීඩාව තෝරාගන්න කියලා. මම කරපු දේ තවත් කවුරුවත් කරල නෑ. අපිට එහෙම කරනවා වගේ අයින් කරන්න එපා. ඩර්වින් පෙරේරා සර් ඊයේ පෙරේ දා මැරිලා ගියා. මම 1997 දී ලෝක රිදී පදක්කම ගත්තේ ඩර්වින් සර් යටතේ ටේ්‍රනින් කරලා. හැබැයි කවුරුවත් ඩර්වින් සර් මැරිලා යනකම් එක ඇගයීමක් හරි කළා ද? මම ඒ සම්මාන උළෙලෙ දී ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපිට දී කිව්වේ ඒ ඛේදවාචකය ගැනයි. අද බලන්න ශ්‍රියානි කුලවංශ, දර්ශා, සුගත්, මම අපෙන් ගන්න ප්‍රයෝජනය මොකක්ද මේ රට?. දවසට පැය දෙක තුනක් හරි පුහුණු සැසියක දී අපෙන් ප්‍රයෝජනයක් ගන්නවද? මහින්දානන්ද ඇමැතිතුමා ඉන්න කාලෙත් මම මේ ගැන කතා කළා. මම කියන්නේ මට වඩා දක්ෂ අය තව මේ රටේ කොච්චර ඉන්නවා ඇද්ද? නමුත් හරි පුහුණුකරුවෝ නොවෙයි පුහුණුකරුවන් වෙලා ඉන්නේ. මේක තමයි ඇත්ත. එදා මෙදාතුර ආව ක්‍රීඩා ඇමැතිවරුන් ගත්තම මට කියන්න කනගාටුයි. මම ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ පරිපාලනයට ආවේ දයාසිරි ජයසේකර ඇමැතිතුමාගේ කාලයේ දි. එතුමට අමතක ද දන්නේ නෑ. මම රටට ගෞරවයක් ගොනාව ක්‍රීඩිකාව. මගෙන රටට සේවයක් ලබාගත යුතුයි කියලා.
ප්‍රශ්නය:- එදා සම්මාන උළෙලේ කතාවෙන් පස්සේ මොකද වුණේ?
පිළිතුර:-
ඒ කතාව කරලා මම ස්ටේජ් එකෙන්  පහළට බහින කොටම මට දයාසිරි ජයසේකර ඇමැතිතුමා කිව්වා. මම මේ වගකීමෙන් කියන්නේ එතැන ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් තුමත් හිටියා. මට ඇමැතිවරයා කිව්වා “තමුසේ එනවා මේ මාසේ පඩිය ගන්න.” කියලා.
ප්‍රශ්නය:- ඔබට මොකද හිතුණේ?
පිළිතුර:-
මතක තියාගන්න මම බය නෑ. මට නැතිවෙන්න දෙයක් නෑ. මට තියෙන්නේ රටට ගෞරවය හා ජයග්‍රහණය ගෙනත් දීපු ඉතිහාසයක්. ඒ නිසා මට හරිම වේදනායි. ක්‍රීඩා අමාත්‍යාංශයේ මට තැනක් නැත්නම් මට තැන තියෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙ ද? එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ ද? මේ ක්‍රීඩා ඇමැතිට අමතක වුණාට එයා දැන් වර්තමාන ක්‍රීඩා ඇමැති. හැබැයි මම අවුරුදු 20ක් රට වෙනුවෙන් ක්‍රීඩා කරපු කෙනෙක්. ඒ නිසා මම එයාට නැවතත් කියනවා. එයා බුද්ධිමත් අමාත්‍යවරයෙක්. එයා හැම පැත්තෙන්ම දක්ෂයෙක්. එයාගේ ඥාන ශක්තියත් එක්ක එයා කල්පනා කළොත් මම කිව්ව දේ හරියට තේරුම් ගනීවි. ක්‍රීඩාව දියුණු කරන්න අවශ්‍ය දේයි මම කිව්වේ.
ප්‍රශ්නය:- ඇමැති දයාසිරි කිව්වා වගේම ඔබට පඩිය ලැබුණේ නෑ?
පිළිතුර:-
නෑ. ඒ කිව්වත් හරි මම සති දෙකකට විතර පස්සේ මට ලියාපදිංචි තැපෑලෙන් ලියුමක් එවලා කිව්වා. “මගේ සේවය අවසානයි.” කියලා.
ප්‍රශ්නය:- ඔබ කිව්වා ඒ සම්මාන උළෙලෙ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් හිටියා කියලා.
පිළිතුර:-
ඔව්. එතුමා මට කිව්වා “මදි ද අපි රුපියල් 60,000 ක් හරි දුන්නා. කට තිබ්බ පළියට කියවන්න එපා” කියලා. මම ඇත්ත කතා කළේ මට ඔය කාටවත් කඬේ යන්න ඕනැ නෑ. මේ ක්‍රීඩාව  යන තාලේ මට තේරෙනවා. අද ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක එක දේවල් පාවිච්චි කරලා දුවන්නේ. මේවා ගැන හොයන්න කෙනෙක් නෑ. කතා කරන්න කෙනෙක් නෑ. කවුද මේවට වග කියන්නේ.
ප්‍රශ්නය:- ඒ හැට දාහත් නැතිව ඔබ කොහොමද දැන් ජීවත් වෙන්නේ?
පිළිතුර:-
ආදායම් මාර්ග කියන්නේ ඇත්තටම මම හොයාගත්ත මුදලක් තිබුණා. දේශපාලන කටයුතුවලට ඒ ගොඩාක් මුදල් වියදම් වුණා. එතැන දී මට කවුරුවත් විශේෂයෙන් උදව් කළේ නෑ. ඒ නිසා මම උපයා ගත්ත දේවලුත් මට හරි හරියට වියදම් වෙලා. මම මෙහෙම අසරණ වෙලා ඉන්න කොට  ජනාධිපති නීතිඥ ජයන්ත දොළවත්ත මහත්තයා හරහා ආරක්ෂක ලේකම්තුමාට කතා කළා. ඊට පස්සේ මාව මේ කාලය තුළ මාව හමුදාවේ කෙටිදුර පුහුණුකාරියක් හැටියට කොන්ත්‍රාත් පදනම යටතේ මාව බඳවා ගත්තා.
ප්‍රශ්නය:- කීයක් ගෙවනවද?
පිළිතුර:-
මම ඉල්ලීමක් කළා. මට රුපියල් 60,000 ක් ගෙවනවා. ඉතින් සර් අමාරුවෙන් ජීවිතය ගෙනියන්නේ. ආසා කරන කෑමක් වුණත් දෙපාරක් හිතලා කන්නේ. ඔලිම්පික් පදක්කමක් දීලාත් ඇයි මට මෙහෙම වුණේ කියලා මම හිතනවා. මට රටේ ජනතාවගේ ආදරය ගෞරවය තියෙනවා. මට ඩෙංගු හැදිච්ච වෙලාවේ හැමෝම මට උදව් කළා. දියතලාවේ ඉඳලා මාව කොළඹ ගෙනාවේ චොපර් එකකින්. මට ඒ ආදරය ගැන පුදුම ගෞරවයක් තියෙන්නේ. ඒත් මට තියෙන්නේ රටට සේවයක් කරන්න අවස්ථාව අහිමිවීම, ඒ තුළම තමයි මට ආර්ථික ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ.
ප්‍රශ්නය:- ඔබ මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ?
පිළිතුර:-
ක්‍රීඩා බලධාරින් මට සලකන්නේ මේ තරම්ම පහත් විදියට නම් මට තියෙන ලොකුව සම්පත තමයි ඔලිම්පික් පදක්කම. මම ඒක වෙන්දේසියේ දානවා.
ප්‍රශ්නය:- ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරනවා?
පිළිතුර:-
ඔව්. මම වෙන මොනවා කරන්නද?
ප්‍රශ්නය:- ඔබ ක්‍රීඩා අමාත්‍යාංශයට මේ ගැන දැනුම් දුන්න ද?
පිළිතුර:-
මොනවා කියන්නද? මම එක පාරක් ඔය නිලධාරින් එක්ක කතා කළා. ඒ අය කියනවා අපි දැන් සැලසුම් කරගෙන යන්නේ ක්‍රීඩා කෞතුකාගාරයක් හදන්න කියලා. මම අහනවා ඒකේ තැන්පත් කරන්නේ ක්‍රීඩා ඇමැතිගේ පදක්කම් ද කියලා. මේ රටේ ලොකුම පදක්කම තියෙන්නේ මං ගාව. ඒක කෞතුකාගාරයට දෙන්න කලින් මම පදක්කම වෙන්දේසි කරනවා. මොකද මට ඔක්කොටම කලින් දරුවෝ දෙන්නත් එක්ක ජීවත් වෙන්න ඕනා.
ප්‍රශ්නය:- ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දාලා?
පිළිතුර:-
මම යනවා ඕස්ටේ්‍රලියාවට. ඒ වගේ රටක් මාව පිළිගනීවි. මට ඊට වඩා දෙයක් කරන්න ඉතිරිවෙලා නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here