ඒක තමයි තොපිට කියන්නේ. මෙන්න මෙහෙම කාණු සුද්ධ කරපිය. මේව උතුරලා ගලනකොට මේ මඩ නාගන්නේ ඉස්කෝලේ ළමයි. උන්ට සුදුවට ඉස්කෝලේ යන්න දීපියව්

පාලිත තෙවරප්පෙරුම නම් වූ මිනිසා කියවීම….

මෙකී මිනිසා ගැන රටම දැනගන්නේ මෑතකය. හේ පෙරළිකාර චරිතයක් වන අතර කල කී දෑ බොහෝ විට මතබේදයට තුඩු දුන්නක්ම විය. මතුගම දොඩම්ගොඩ ප්‍රදේශයේ ජීවත් වන ඔහු මගේ මතකයේ මුල්වරට ගැටෙන්නේ එක්දහස් නවසිය අනූ ගණන් වල අගභාගයේදීය. ඒ එක් දිනක් මා පාසල් යනවිට සිදුවූ සිදුවීමක් නිසාය.

ඒ දවස්වල අපි පුරුද්දට මෙන් පාසලට යන්නේ පාන්දර හතට පමණය. ඒ මිතුරු ඇසුරේ සේම පෙම් ඇසුරේද ලගින්නටය. ඒ ඒ කාලේ හැටිය. එක් දිනක් උදේ හතට පමණ ටවුමෙන් බහින විට ඔරලෝසු කණුව අසල බෝඩ් එකේ උන් මිනිසා කලිසමද නවාගෙන කුණු කාණුවක බැස කුණු ගොඩ දාන ගමන්ය. ඒ අසල ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ දෙදෙනෙක්ය. උන්ද කුණු වතුර නාගෙනය. එසේ කාණුව ගොඩ දාන ගමන් මේ මිනිසා උන්ගෙන් අසන්නේ
“කියහල්ලා, සනීපද දැන් සුවඳද මේ කුණු?”

‘නෑ සර්’

“ඒක තමයි තොපිට කියන්නේ. මෙන්න මෙහෙම කාණු සුද්ධ කරපිය. මේව උතුරලා ගලනකොට මේ මඩ නාගන්නේ ඉස්කෝලේ ළමයි. උන්ට සුදුවට ඉස්කෝලේ යන්න දීපියව්”

මට මේ මනුස්සයා ගැන එදා මහා ආඩම්බරයක් දැනින. හේ පාලිත තෙවරප්පෙරුම නම් විය. මම මේ වග ගෙදර ගියවිට තාත්තා එක්ක කිවුවෙ තව යමක් දැන ගත හැකිවේ යැයි විශ්වාසයෙනි.

“ලොක්කා…එයා ඕ බී කෙනෙක් අපේ ඉස්කෝලේ. මට වඩා ජූනියර් ඉස්කෝලේ යන කාලේ. ඒ කාලෙත් ටිකක් නහර කාරයා. චණ්ඩි අයියා කියල තමයි හැමෝම කියන්නේ.හැබැයි හොඳ මිනිහෙක්. ප්‍රාදේශීය සභාවේ සභාපති”

මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ එවකට ශිෂ්‍යකුව උන් මට මෙය මහත් අභිමානයක් විය. එක අතිකින් චණ්ඩියෙකි. එක අතකින් හොඳ මිනිසෙකි. එදා මට හිතුනේ මේ චරිතය පොඩ්ඩක් ෆලෝ කරා නම් හොඳයි යන්නය.

තවත් එක් දිනක් පාසල් යනවිට ඔහු ට්‍රැක්ටර් ඩ්‍රයිවර්ගේ භූමිකාවේ යෙදී උන්නේය. අදත් මොකක් හෝ සිදුවී ඇත. පාසලට පොඩ්ඩක් පරක්කු උනත් මෙය බලා යා යුතුයි යන්න ඉටාගෙන තරමක් දුරින් රැඳී උන්නේය. ටික වේලාවකින් ඔහු අප සමීපයට ආවේය.

“දරුවෝ මොකද කරන්නේ. ඉස්කෝලේ යන්න ආවානම් ඉස්කෝලෙට යන්න ටවුමේ ඉන්නේ නැතුව. ඔයාට ඉස්කෝලයක් නැද්ද” ඒ පැනය මා මිතුරාටය.

‘ආනන්දේ’

“කෝ යකෝ බැජ් එක”

මිතුරා නිහඬව උන්නේය.

“පුතා තමන්ගේ ඉස්කෝලේ බැජ් එක ගහන්න ලැජ්ජ වෙන්න එපා.”

එවිටම වාගේ ට්‍රැක්ටරයේ රියදුරු එතැනට ආවේය. ට්‍රැක්ටරයෙන් බැස්ස සභාපතිවරයා ඩ්‍රැයිවර්ට දෙකක් ඇන කුණු ට්‍රැක්ටරයටම උස්සා දැමුවේය.

“බිව්වට කමක් නෑ යකෝ, වෙලාවට වැඩට එන්න දැනගන්න ඕනේ. තොපිට මං කියල තියෙනවා ටවුමට ඉස්කෝලේ ළමයි එන්න කලින් ටවුම් සුද්ධ කරන්න කියලා”

කුණු ටිකත් එක්කම ඔහුවද රැගෙන ගියේය. ඒ ඩ්‍රැයිවර් පාලිත තෙවරප්පෙරුම නම් විය. මතුගමට අපිට චණ්ඩි අයියා විය.

එකී මිනිසා ප්‍රාදේශීය සභාව තුල බොහෝ සේවයක් කලේය. එතැනින් පළාත් සභාවට ගියේය. එතනින් පාර්ලිමේන්තුවටය. අදත් ඔහු පාර්ලිමේන්තුවේය. ඒ පරිපූරක ඇස්තමේන්තු සකස් කරන්නට නොව ජනතා අයිතිය වෙනුවෙන් කතා කරන්නටය. එදා සිට අද දක්වාම දන්න කියන තැනක මල ගෙදරකට මඟුලකට යන්නේ පක්ෂ පාට බේදයකින් තොරවය. පෝසතාගේ සිට හිඟන්නා දක්වා වූ සෑම මලගෙයකම බොහෝ වෙලාවක් ගත කර ඔවුන්ට හැකි අයුරින් උදව් කරන මේ අපූරු මිනිහා ඒ කලේ හදවතින්මය. කවුරුන් හෝ එය දේශපාලන වාසියක් සඳහා කරන්නක් යැයි තර්ක කරනවා නම් මම ඊට විරුද්ධ වෙමි. මන්ද ඔහුට මනාප ඕනෑවටත් වඩා තිබේ. බොහෝ බලගතු දේශපාලන චරිත රැසක් රජ කරන කළුතර දිස්ත්‍රික්කයේ මුල් දෙතුන් දෙනා අතර මනාප සමඟ වැජඹෙන්නට මොහුට හැකිවන්නේ ජනතා මනාපය ලබාගෙන අවසන් නිසාවෙනි.
දරුවන් පාසලට ගන්නා තුරු හේ ඒ ගැටුම තුලම විය. කාට හෝ අසාධාරණයක් වූ විට එය සාධාරණීකරණය වෙන තෙක්ම ඒ වෙනුවෙන් සටන් කිරීම ඔහුගේ පුරුද්දයි. අසාධාරණය වෙනුවෙන් එරෙහි වීම පුරුද්දට වඩා ගතියක් වී ඇත.

එක් ඡන්ද සමයෙක විරුද්ධ පාක්ෂිකයන් කොඩි දමමින් මැතිවරණ සටන කරනා අතර එකෙක් චණ්ඩි අයියාගේ ගේ ඉස්සරහා ලයිට් කණුවේ තිබූ කොල කොඩිය කපා ඒ වෙනුවට වෙනත් වර්ණ කොඩියක් දැමුවේය. මෙය දුටු චණ්ඩියාට අසූහාර දාහට තද විය. තෙවරප්පෙරුම උවද තෙවරක් පෙරුවේ නැත. ලයිට් කණුවේ උන් එකාව අල්ලා ගැටගැසුවේය. එවන් දේවලද අතීතයේ නැතුවාම නොවේ. නමුත් ඒ උරණ වීම් පළිගැනීමට නොව එරෙහි වීමටය. පළිගැනීම් සම්බන්ධව දැනුවත් වී නැත. දේශපාලනයේ එහෙම කතාද නැතුවාම නොවෙන තැනක මං ඒ වගක් නම් දන්නේ නැත.
වරෙක මා මිතුරකු විවාහකව සිට තවත් කාන්තාවක් රැවටුවේය. ඒ විවාහ කරගන්නා බවට ගිවිස්නා දීමෙනි. බඩට දරුවෙක්ද ආ කල ඇයව අතහැරිය මා මිත්‍රයා අතුරුදන් විය. ඇය වස පානය කොට උපන්නට උන් දරුවාද සමඟ මියගියාය. මෙම මලගෙදරට පැමිණි චණ්ඩි අයියා ගෙදර අයට පොරොන්දු වූයේ මේ අපරාධයට වගකිව යුත්තා සමඟ එන බවය. එසේ කියුවා සේම දස අතේ සොයා ලණුවක ගැටගසා ඔහු රැගෙන ආවේය. මිනිය ලඟ දණ ගැස්වූවේය. එතැන මා ද උන් නිසාවෙන් මෙසේ කියමි. අවාසනාවට එකල ස්මාට් ෆෝන් නොවුනු නිසාවෙන් මේ කිසිවක පිංතූර නැත. පිංතූර වල පෙනී හිටින්නට ඔහුට කිසිවිටෙක උවමනා නොවීය. සමාජයේ බැබලෙන්නට ඔහුට උවමනා නොවීය. ඒ පාලිත තෙවරප්පෙරුම නම් මිනිසාය.

පහුගිය දා මහා ගංවතුරේ සරමත් කැහැපොට ගසාගෙන අසරණ වූ මිනිසුන් වෙනුවෙන් ඔහු පාරට බැස්සේය..වතුරට බැස්සේය. මඩේ ලැග්ගේය. එය කවුරුන් හෝ ඡායාරූපගතකොට වීඩියෝ කර පලකර තිබුනි. ඒ හරහා පාලිත තෙවරප්පෙරුම චරිතය ගැන කතිකාවක් යලිත් ඇතිවූ අතර සමහරු ඔහු ගැන ගුණ වයන්නට විය. සමහරෙක් ඔහුට විරුද්ධ විය. මනාප වූවෝ බොහෝ වෙනකොට සමහරෙක් අගුණ කියන්නට විය.
සමහරෙක්ට කැහැපට ගහපු සරම වැරදිය
තවකෙක්ට පිංතූර දැම්ම එක වැරදිය.
තව කොටසක් කිවුවේ මේ දේශපාලන නාටකයක් බවය.

ඉතින් මම කියන්නට කැමැත්තෙමි.
ඔහු දේශපාලනයට ආ දා සිට සරම කලිසම කොයිකත් ඇන්දේය. ගංවතුරකදී විපතකදී ටයි කෝට් වෙනුවට සරමට ෂෝටට බැස ගමට ආ එකෙකි.
දේශපාලන නාටකයන් නම් අපි සැවොම එක්ව රඟන නාටකයක් වන් අතර ඔහුද කොටස්කරුවෙකි ඔබ මා සේම. එසේම අනූ ගණන් වල දෙදහසේ මුල් කාලයේද ඔහු කටයුතු කලේද මෙලෙසමය. එකල පිංතූර ගත්තේ නැත. නමුත් මේ මනුස්සයා ක්‍රියා කලේ මෙලෙසමය. ඒ බවට මම වග කියමි.
කාට හෝ අවැසි නම් මට ගල් ගැසිය හැක. මම ඊට උරණ නොවෙමි. මන්ද මහා ගල් පර්වතද මා හිස මතට හෙලා ඇති නිසාවට සමහරෙක් ගසනා ගල් වලට පුංචි කිචියක් දැනෙන්නට පුලුවන. එසේම නුඹලා එහෙන් මෙහෙන් අසනා කතාවලට වඩා මා දෑසින් දුටු දේ මම විශ්වාස කරමි. වසර ගණනක ඇසුරේ හිඳ මා ලද අත්දැකීම් මත මම මගේ හෘද සාක්ෂිය විශ්වාස කරමි.
දැන් කාට හෝ ඇඟිල්ල දිගු කල හැකිය. මා ඔහු වෙනුවෙන් කඩේ යන බවට. මගේ පිළිතුර ඔව් යන්නය.
මනුස්සකමේ නාමයෙන් මම ඔහුට කඩේ යමි. නමුත් ඔහුත් මමත් කිසිදාක නොගැලපුනු තැනක් විය. එනම් දේශපාලනයයි. ඔහු කොළට බර වෙනවිට මම රතට නිලට බරවිය. ඉතින් අපි දේශපාලනය හැර අනෙක් හැම තැනකදීම මුහුවිය. ජීවිතයේ ප්‍රතම වරට මම ඔහු වෙනුවෙන් ඡන්දයක් දුන්නේ ප්‍රතිපත්ති වලට විරුද්ධ වුවත් මෙවන් මනුස්සයෙකු පාර්ලිමේන්තුව තුල සිටිය යුතු බැවිනි.

අවසන්ය ඒ වග…
ආඩම්බරය මම
ඒ ඔහු මා පාසලේ
මා නගරයේ වීම.නිසා නොව
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
ජනතා නායකයකු සමඟ
ඇසුරු කරන්නට ලැබීම නිසාය.

චිරං ජයතු….මනුස්සකමේ නාමයෙන් මං
අමිල අදිකාරම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here