උදයංග නිවැරදි නම් අපේ අධිකරණයට ඉදිරිපත් වෙන්න තිබුණා

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔහු නිවැරදි නම් මෙරට අධිකරණය වෙත ඉදිරිපත්විමට අවස්ථාව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පව​සයි.
ජනතා විමුක්ති පෙරමුණේ අද(07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විජිත හේරත් මහතා මෙසේ ද පැවසීය.
“උදයංග වීරතුංග කියන්නේ මහින්ද රාජපක්‍ෂගේ පුංචි අම්මාගේ පුතායි. ඔහු රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඒ වගේම ඔහු අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් තිබෙනවා.
පළමුවැනි ප‍්‍රශ්නය තමයි ඔහු වැරැද්දක් කළේ නැත්නම් හැංගිලා ඉන්නේ ඇයි? වරෙන්තු තිබියදී ආණ්ඩුවේ ඇමතිවරුන් සමඟම එකට සිට ඡායාරූප ගත් අවස්ථා පහුගිය කාලයේ අපි දැක්කා.
ජාත්‍යන්තර පොලීසිය මඟින් ඔහු අත්අඩංගුවට ගැනීමට පෙර උසාවියට ඉදිරිපත් වෙලා නිවැරදිභාවය ඔප්පු කරන්න ඉඩ තිබුණා.
ඔහු මෙතෙක් කල් නිදැල්ලේ හිටියේ කොහොමද කියන එකත් ප‍්‍රශ්නයක් විදිහට තිබුණා. කෙසේ වෙතත් දැන් ඔහු පිළිබඳව කටයුතු කිරීම රාජ්‍යතාන්ති‍්‍රකව කළ යුතු දෙයක්. මේ ආණ්ඩුව කේ. පී.ට එරෙහිවත් මේ විදිහටම බරපතළ චෝදනා කළා.
අන්තිමේදී සියලූ චෝදනාවලින් කේ.පී. නිදහස් කළා. ඒ නිසා උදයංග වීරතුංග පිළිබඳව මේ ආණ්ඩුව සිදුකරන මාධ්‍ය සංදර්ශන කොහොම එකක් වෙයිද කියලා අපිට කියන්න අමාරුයි. “
ජනාධිපතිතුමාගේ දෙවන මෙහෙයුම  සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දුන් ඒ මහතා මෙසේ කියා සිටියේය.
“ජනාධිපතිවරයා කිව්වා, හොරු ඇල්ලීමේ දෙවැනි මෙහෙයුම පටන් ගත්තා කියලා. නමුත් අපිනම් පළමුවැනි මෙහෙයුම දැක්කේ නැහැ.
මැතිවරණය නිසා ජනාධිපතිවරයා දෙවනි මෙහෙයුමක් ගැන කිව්වා. කෙසේ වෙතත් අද ජනාධිපතිවරයාගේ සද්දේ වැඩිවෙලා. සැර වැඩිවෙලා.
මඩු වළිගය වනනවා. කඩුව කරකවනවා. නමුත් දඬුවම් දුන්න කෙනෙක් නම් නැහැ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියන්නේ භාවිතාවෙන් ඔප්පු කර පෙන්වන්න කියලා. මෙච්චර කාලයක් කිසිවක් නොකරපු ජනාධිපතිවරයා ඡන්ද වේදිකාවේ හීනෙන් බය වෙලා වගේ කතා කරනවා.
මෙච්චර කාලයක් දූෂිතයෝ ආරක්‍ෂා කළා. මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයාගේ භාවිතාව පිළිබඳව අපි බලාගෙන ඉන්නවා.
මහා පරිමාණ මූල්‍ය අපරාධ ජනාධිපති කොමිසන් වාර්තාවේ සිදුවීම් 34ට සම්බන්ධ චූදිතයනුත් ජනාධිපතිවරයාත් එක්ක ඉන්නවා. ඔවුන් පිළිබඳව කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here