ඊසි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් නීතියේ රැහැනට

ඊසි කෑෂ් ක්‍රමයට හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගයින් නීතියේ රැහැනට හසුකර ගැනීම යම් අපහසුතාවක් පැවතියත් දිස්ත්‍රික්කය තුළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන යටතේ විශාල වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇති  බව මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරී අයි. ජී. ටී. සුගතපාල මහතා පවසයි.

පොලිස් අධිකාරීවරයා එසේ ප්‍රකාශ කළේ  මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මාසයට අදාළ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හමුවේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  රැස්වු අවස්ථාවේදීය.

ඊසි කෑෂ් ක්‍රමය යටතේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් දුරකථන මාර්ගයෙන් මත්ද්‍රවය සඳහා මුදල් ලබාගෙන මත්ද්‍රව්‍ය විදුලි කණුවක, ගසක වැනි ස්ථානයක අලවා යෑමෙන් ජාවරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට ගැටළුවක් පැවතියත් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ඊසි කෑෂ් කර පුද්ගලයින් පසුපස හඹා ගොස් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්වෙත නඩු පවරා ඇති බවත් ඔහු කියා සිටියේය.

නීති විරෝධී මත්පැන් වැටලීම් 1181ක්, රජයේ අරක්කු නීති විරෝධීව අලෙවි කිරීම යටතේ වැටලීම 54ක්, හෙරෝයින් වැටලීම් 228ක්, ගංජා වැටලීම් 250ක්, මාව වැටලීම් 376ක් , බාබුල් වැටලීම්  90ක් සිදු කළ බවත්, පසුගිය වසරවලට සාපේක්ෂව හෙරෝයින් මත්ද්‍රව්‍යය භාවිත දඹුල්ල ගලේවෙල හා ලග්ගල යන ප්‍රදේශයන්හි වැඩිවිමක් දක්නට ලැබෙන අතර එම තත්ත්වය පාලනයට විශේෂ වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here