අන්තර්ජාලය ඔස්සේ මුදල් ගැරූ 2ක් අල්ලයි

යුරෝපා රටවලට යවන බව පවසා අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක අපරාධ කල්ලියක තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

කොළඹ වංචා විමර්ශන අංශය විසින් සිදුකරන ලද විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  කාර්යාලය පැවසුවේය.

ෆේස්බුක් වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි ඔස්සේ යුරෝපා රටවලට පුද්ගලයින් යවන බවට දැන්වීම් පළ කර ව්‍යාජ විදෙස් ගමන් පලපත්‍ර හා හැඳුනුම්පත් උපයෝගී කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

මෙලෙස රුපියල් ලක්ෂ 24ක මුදලක් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව කොළඹ වංචා විමර්ශන අංශය විසින් සිදුකළ විමර්ශනයකදී කොලොන්නාව ප්‍රදේශයේ දී 31 හැවිරිදි සැකකරුවෙකු සහ 27 හැවිරිදි සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකරගෙන යනු ලබන මෙවැනි වංචාකාරී ක්‍රියා වලට හසු නොවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here